ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
රෝහින්ග්‍යා ගැටලුව : සූ චී "නිහැඬියාව" බිදී
ම්යන්මාරයේ රෝහින්ග්‍යා මුස්ලිම් ප්‍රජාව වාර්ගික ශුද්ධයකට ලක්වන බවට පුළුල්ව පැතිර යන වාර්තා අවුං සාං සූ චී ප්‍රතික්ෂේප කරන්නීය.
බීබීසී සමග කළ විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී 'රඛීන් ප්‍රාන්තයේ' යම් ගැටලු තත්වයක් පවතින බව පිළිගත්තද, ඊට වාර්ගික ශුද්ධයක් යයි පැවසීම "ඉතා තද වැඩි" බව සුචී පෙන්වා දුන්නාය.
ඒ වෙනුවට ම්යන්මාරයේ නිල නොලත් නායිකාව කියා සිටියේ, යළි පැමිණෙන රෝහින්ග්‍යා ජන කොටසට අයත් ඕනෑම පුද්ගලයෙකු සිය රට විසින් දෑත දිගුකර පිළිගනු ලබන බවය.
"වාර්ගික ශුද්ධයක් නැහැ"
බීබීසී විශේෂ වාර්තාකරු ෆර්ගිල් කීන් සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වූ ඇය "එම ප්‍රදේශයේ ගැටුම් බහුලව පවතිනවා. බලධාරීන් සමග සහයෝගයෙන් කටයුතු කරනවා යැයි සිතන මුස්ලිම් අයව, මුස්ලිම් අයම මරා දමනවා. ඔබ කියන විදිහට එය වාර්ගික ශුද්ධයක් නෙවෙයි. බෙදී වෙන්වී සිටින විවිධ මිනිසුන් පිළිබඳ කාරණයක්." යැයි පැවසුවාය.
බංග්ලාදේශයෙන් පැමිණි අනවසර සංක්‍රමණිකයින් පිරිසක් ලෙස දකින රෝහින්ග්‍යා ජන කොටසට ම්යන්මාරය හෙවත් බුරුමයේ පුරවැසිභාවය පිරිනැමීම ප්‍රතික්ෂේප වී ඇති අතර නිල වශයෙන් මෙන්ම පොදු ජනතාව අතර ද ඔවුහු වෙනස්කම්වලට මුහුණ දෙති.
2012 වසරේදී ඇතිවුණු වාර්ගික ගැටුම්වලින් අවතැන්වූ දස දහස් ගණනක රෝහින්ග්‍යා පුද්ගලයින් සරණාගත කඳවුරුවල වෙසෙන අතර ප්‍රහාරයකදී පොලිස් නිලධාරීන් 9 දෙනෙකු ඝාතනය වීමෙන් අනතුරුව රඛීන් ප්‍රාන්තයේ දියත් කෙරුණු හමුදා මෙහෙයුම් හමුවේ 70,000 ක පමණ පිරිසක් අසල්වැසි බංග්ලාදේශයට පළා ගියහ.
හමුදාවට චෝදනා
ම්යන්මාර හමුදාව සිය මෙහෙයුම්වලදී රෝහින්ග්‍යා ජනයාට එරෙහිව දූෂණ, ඝාතන හා වද බන්ධනවල යෙදීම සම්බන්ධයෙන් නැගෙන චෝදනා විමර්ශනය කරන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පසුගිය මාසයේ නිවේදනය කරද්දී, ම්යන්මාර ආණ්ඩුව එම චෝදනා ප්‍රතික්ෂේප කළේය.
බොහෝ දෙනා දුටුවේ, නිවාස අඩස්සියේ සිටි සමය ඇතුළුව දශක ගණනාවක්, ම්යන්මාරයේ පැවති මිලිටරි ජුන්ටාවට එරෙහිව ගනගිය සටන හේතුවෙන් මානව හිමිකම්වල පහන් ටැඹක් ලෙස අවුං සාන් සුචී හිමිකරගෙන සිටි කීර්තිය, රෝහින්ග්‍යා අර්බුදය හමුවේ ඇය පළ කළ නිහැඬියාව හේතුවෙන් හානියට පත්වී ඇති බවය.
මේ හේතුවෙන්, ජාත්‍යන්තර වශයෙන් ද ඇය වෙත පීඩනය එල්ල විණි.
"මිනිසුන්ට ඕන දේ මා කියන්නේ නැහැ"
කෙසේවෙතත්, මේ වසරේ පළමු වතාවට සම්මුඛ සාකච්ඡාවේදී අවුං සාං සූ චී පෙන්වා දුන්නේ තමා මීට පෙරද මීට පිළිතුරු දී ඇති බවය.
"රඛීන් ප්‍රදේශයේ අවසන් වරට ගැටලු සමුදාය මතුවූ 2013 වසරේ සිටම මේ ප්‍රශ්නය අහනවා. ඔවුන් (ජනමාධ්‍යවේදීන්) අසන ප්‍රශ්නවලට මා පිළිතුරු දුන්නත් මිනිසුන් කියන්නේ මා කිසිවක් නොකියන බවයි."
"ඒ වෙනෙකක් නිසා නෙවෙයි, මිනිසුන්ට අවශ්‍ය දේ මා නොකියන නිසයි. ඒ කියන්නේ, එක ප්‍රජාවක් හෝ අනෙකක් මා හෙළා නොදකින නිසයි." සුචී පවසන්නීය.
ඔක්තෝබරයේදී ප්‍රහාර දියත් කෙරුනේ ඇයිදැයි තමන්ට අවබෝධයක් නැති වුවත්, රාජ්‍යය සහ අවිගත් වාර්ගික කැරළිකාර කණ්ඩායම් අතර සාමයක් ගොඩනැගීම සඳහා දරන ලද ප්‍රයත්නය බිඳ දැමීමට දැරූ උත්සාහයක් විය හැකි බවට අදහස් පළ කළාය.
තම අභිමතය අනුව ක්‍රියාත්මක වීමේ බලයක් හමුදාව සතු බවට ඇති මතය ද ඇය ප්‍රතික්ෂේප කළාය.
කෙසේ වෙතත්, හමුදාවේ පාලනය යළි අත්පත් කරගැනීම ආණ්ඩුවේ අපේක්ෂාව බව කියා සිටියාය.
වත්මන් ම්යන්මාර ව්‍යවස්ථාව අනුව, හමුදාව පාලක පක්ෂයෙන් වෙන්වූ ස්වාධීන ආකාරයකින් ක්‍රියාත්මක වේ.