මියන්මාරයට 'මානව වර්ගයාට එරෙහි අපරාධ' චෝදනා

මියන්මාරයේ යුද හමුදා ක්‍රියාමාර්ග 'මානව වර්ගයාට එරෙහි අපරාධ' ඝනයට ඇතුළත් කිරීමේ ඉඩකඩ ඇති බව ජාත්‍යන්තර ක්ෂමා ආයතනය (ඇමිනෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය) පවසයි.

ඇමිනෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය එම ප්‍රකාශය කරන ලද්දේ මියන්මාර හමුදාව රෝහින්ග්‍යා මුස්ලිම් ජනතාවට එරෙහිව හිංසා සිදු කරන බවට චෝදනා එල්ල වීමෙන් පසුවය.

ඔවුන් විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති නවතම වාර්තාවේ මියන්මාර හමුදාව, රෝහින්ග්‍යා සාමාන්‍ය වැසියන් ඝාතනය, වද හිංසා පැමිණවීම සහ දූෂණ සිදු කරන බවට චෝදනා එල්ල කොට තිබේ.

කෙසේ වෙතත් මියන්මාර හමුදාව විසින් එල්ල වන සියලුම චෝදනා ප්‍රතික්ෂේප කරනු ලැබ ඇති අතර ප්‍රකාශ කොට තිබෙන්නේ සිය හමුදා කණ්ඩායම් රක්කෙන් නගරයේ ක්‍රියාත්මක වෙමින් ඇති ත්‍රස්තවාදය මැඩලීමට මෙහෙයුම් දියත් කරමින් සිටින බවය.

රෝහින්ග්‍යා මුස්ලිම් ජාතිකයන්ට එරෙහිව ක්‍රියාත්මක වන ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් මියන්මාරයේ නායිකාව අවුං සාන් සූචි සමග සාකච්ඡා කිරීම සඳහා කලාපීය රටවල නායකයන් අද දින (දෙසැ 19) යැන්ගොන් නගරයට රැස්වීමට නියමිතයි.

ASEAN හෙවත් ගිනිකොණදිග ආසියාතික රටවල් එකමුතුව සිය සාමාජික රටක් තුළ පවතින අර්බුදයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්රැස් වීම ඉතා දුර්ලභ සිදුවීමක් බව විචාරකයෝ පෙන්වා දෙති.

මේ අතර මැලේසියානු රජය චෝදනා කරන්නේ මියන්මාරය සිය හමුදාව යොදා ගනිමින් 'ජන සංහාරයක්' සිදු කරමින් සිටින බවටය.