රහසින් පිට වුනු ලේබර් පක්ෂ මැතිවරණ ප්රකාශනය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
අගමැතිනි තෙරේසා මේ ගේ ඉල්ලීම ප්‍රකාර නියමිත කාලයට පෙර බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් අනතුරුව හදිසි මහ මැතිවරණයක් ලබන ජුනි 08 වෙනි දින පැවැත්වීමට නියමිතය.
මහ මැතිවරණය සඳහා තවත් ඉතිරිව තිබෙන්නේ මාසයකටත් අඩු කාලයක් වුවත් ප්‍රධාන පක්ෂ කිසිවක් මෙතෙක් සිය මැතිවරණ ප්‍රකාශන එළිදක්වා නැත.
අගමැතිනිය විසින් නව මහ මැතිවරණයක් කැඳවනු ලැබුවේ යුරෝපයෙන් ඉවත්වීම සම්බන්ධ බ්‍රෙක්සිට් (Brexit) ජනමත විචාරණයෙන් අනතුරුව දේශපාලන ස්ථාවරභාවය සහ ශක්තිමත් නායකත්වයක් මේ මොහොතේ බ්‍රිතාන්‍යයට අත්‍යවශ්‍යව තිබෙන බව පවසමිනි.
එබැවින් පාලක කොන්සර්වේටිව් පක්ෂයේ මැතිවරණ ප්රචාරක ව්‍යාපාරයේ ප්‍රධානම අවධානය යොමු වී තිබෙන්නේ බ්‍රිතාන්‍යය යුරෝපයෙන් ඉවත්වීමේ ක්‍රියාදාමය පිළිබඳව බව පැහැදිලිවම පෙනෙන්නට තිබේ.
මේ අතර ලබන සතියේ නිල වශයෙන් එළිදැක්වීමට නියමිතව තිබුණු ලේබර් පක්ෂයේ මැතිවරණ ප්රකාශනයේ කෙටුම්පතක් බදාදා (මැයි 10) රාත්‍රියේ හදිසියේම රහසින් පිට වී තිබුණි.
මුලින්ම ජාතික පුවත්පත් කිහිපයක් විසින් ප්‍රකාශයට පත්කරන ලද එම කෙටුම්පතේ පිටපතක් බීබීසී යටද දැකගැනීමට ලැබිණ.
රහසින් පිට වුනු ලේබර් පක්ෂයේ මැතිවරණ ප්රකාශනය කෙටුම්පතට අනුව:
- ටෝනි බ්ලෙයාර් පාලනය විසින් හඳුන්වා දෙන ලද විශ්ව විද්‍යාල ගාස්තු අවලංගු කිරීම
- බලශක්ති කර්මාන්තයේ කොටසක් යළි ජනසතු කිරීම
- දුම්රිය ප්‍රවාහනය ජනසතු කිරීම
- ට්‍රයිඩන්ට් න්‍යෂ්ඨික සබ්මැරීන පද්ධතිය අලුත්වැඩියා කිරීම
- පූර්ණ සම්මුතියකින් තොරව යුරෝපයෙන් ඉවත් නොවීම
- සංක්‍රමණිකයන්ගේ ආගමනය පාලනය කිරීම පිළිබඳව "බොරු පොරොන්දු" නොදීම
- වෘත්තීය සමිති තවත් ශක්තිමත් කිරීම
- ජාතික සෞඛ්‍ය සේවය (NHS) වෙනුවෙන් අරමුදල් සපයා ගැනීම පිණිස රටේ වැඩිම ආදායම් ලබන 5%ක පිරිසගෙන් අයකරන ආදායම් බඩු ඉහල දැමීම
- අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් වසරකට නිවාස 100,000 ක් වත් ඉදිකිරීම
- ඡන්දය හිමි වයස අවුරුදු 16 දක්වා අඩුකිරීම
යන කරුණුවලට ප්රමුඛ ස්ථානයක් හිමි වේ.
සිය පක්ෂයේ මැතිවරණ ප්රකාශනය රහසිගතව පිටවීම "කණස්සල්ලට කරුණක්" බව ඡායා මුදල් අමාත්‍යවරයා සඳහන් කළ අතර එය පක්ෂය තුළ පවතින "අවුල" හුවාදක්වන්නක් බව කොන්සර්වේටිව් පක්ෂය පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ලේබර් පක්ෂයේ මැතිවරණ ප්රකාශනය නිල වශයෙන් එළි දැල්වීමට ප්‍රථම ජාතික විධායක කමිටුව සහ ඡායා කැබිනට් මණ්ඩලය ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් 80 ක පමණ පිරිසකගේ අනුමැතිය ලබාගත යුතුය.
තමන්ට අවශ්‍ය මැතිවරණ ප්රකාශනය සකස් කිරීමට පක්ෂ නායක ජෙරමි කෝබින්ට හැකියාව ලැබෙනු ඇති නමුත් ඡන්දදායකයන් විසින් එය ප්‍රතික්ෂේප කරනු ලැබුවහොත් එහි වගකීමත් ඔහු භාරගත යුතු බව ලේබර් පක්ෂ මන්ත්‍රීවරු පවසති.











