සෝමාලි පැහැරගැනීම: ධීවරයන් ද? කොල්ලකරුවන් ද?

ඡායාරූප මූලාශ්‍රය, Mohamed Deeq - SBC
සෝමාලියාවට නුදුරු මුහුදේ දී පැහැර ගැනීමට ලක් වූ බව පැවසෙන ඉන්ධන ප්‍රවාහන නෞකාව මුහුදු මංකොල්ලකරුවන්ගේ ග්‍රහණයට හසුවීමක් ද යන්න මෙතෙක් පැහැදිලි වී නොමැති බව ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් සී.ආර්.පී වලාකුලුගේ පවසයි.
වේග ප්‍රහාරක යාත්‍රා දෙකක් තමන් ලුහුබඳිමින් සිටින බව පවසමින් යාත්‍රාවෙන් පණිවුඩයක් ලැබී ඇතැයි ප්‍රංශයේ පිහිටි සමුද්‍රීය මුදවා ගැනීමේ සම්බන්ධීකාරක මධ්‍යස්ථානය ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත දන්වා ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
එතැන් පටන් නෞකාව සමග පවතින සන්නිවේදනය ඇණහිට ඇති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
මේ අතර බලධාරීන් සමග අදහස් හුවමාරු කර ගෙන ඇති තුවක්කුකරුවන් ඔවුන්ට පවසා ඇත්තේ තමන් ධීවර කර්මාන්තයේ යෙදී සිටින්නන් බවය.
ධීවරයන් ද? කොල්ලකරුවන් ද?

ඡායාරූප මූලාශ්‍රය, European Union Naval Force
නීති විරෝධී ලෙස මසුන් මැරීම සඳහා යොදා ගැනෙන යාත්‍රාවලට හසුව තම ධීවර ආම්පන්න විනාශ වී ඇති බව ද තුවක්කුකරුවන් එහිදී පවසා තිබේ.
නෞකාව පැහැර ගැනීමට ලක් වූ අලුලා නගරයේ දිස්ත්‍රික් කොමසාරිස් අලි ශයර් මොහමඩ් ඔස්මාන් බීබීසී වෙත අදහස් දක්වමින් කියා සිටියේ තුවක්කුකරුවන් සැබෑ ලෙසම ධීවරයන් ද නැතිනම් සංවිධානාත්මක කොල්ලකරුවන් ද යන්න පිළිබඳ කරුණු අනාවරණය කර ගැනීමේ උත්සාහයක යෙදී සිටින බවය.
"නෞකාව අල්ලෙගෙන ඉන්න මිනිස්සු කියන්නේ ඒ ප්‍රදේශයේ සිදුවෙන නීති විරෝධී මසුන් මැරීමේ කටයුතු නිසා තම ජීවිකාවට බලපෑම් එල්ල වෙන බවයි. ඔවුන් මංකොල්ලකරුවන් බව සනාථ වුනොත් වහාම එම ප්‍රදේශයෙන් ඉවත්වන ලෙස මම ඔවුන්ට නියෝග කරනවා . නැතිනම් නෞකාව බේරා ගන්නේ කොහොමද කියන කාරණය ගැන අපි අවධානය යොමු කරනවා" යනුවෙන් ඔහු පැවසීය.
'ශ්‍රී ලාංකිකයන් අට දෙනෙක්'

මේ අතර සෝමාලියාවට නුදුරු මුහුදේදී කොල්ලකරුවන්ගේ පැහැර ගැනීමට ලක්ව ඇති බව පැවසෙන ඉන්ධන ප්‍රවාහන නෞකාවේ ශ්‍රී ලාංකිකයන් අට දෙනෙකු සේවය කොට ඇතැයි වාර්තාවන බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
නෞකාවේ ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහ සුභ සාධනය තහවුරු කිරීම සඳහා නාවුක නියෝජිතායතන, අදාළ බලධාරීන් මෙන්ම අදාළ විදේශ රටවල පිහිටි ශ්‍රී ලාංකික දූත මණ්ඩල සමඟ අඛණ්ඩව සම්බන්ධ වෙමින් ඒ පිළිබඳ වැඩිදුර කරුණු අනාවරණය කර ගැනීමට පියවර ගනිමින් සිටින බව විදේශ අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.


මූළික විමසීම්වලින් කරුණු හෙළිවන පරිදි අදාළ නෞකාව ශ්‍රී ලංකාවේ ලියාපදිංචි වී නොමැති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
ශ්‍රී ලංකාවේ ධජය සහිත නෞකාවක් සෝමාලියාවේ උතුරු දිග වෙරළට නුදුරින් යාත්‍රා කරමින් තිබියදී මුහුදු කොල්ලකරුවන් බවට සැක කෙරෙන කීපදෙනෙකු ඊට ඇතුළු වී ඇති බව එරට බලධාරීහු පවසති.









