දිනේෂ්ට පාර්ලිමේන්තුව තහනම්

පාර්ලිමේන්තුව

විමල් වීරවංශ ඇතුළු ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුව තුළ තනි පක්ෂයක් වශයෙන් ස්වාධීනව කටයුතු කළ නොහැකි බව කථානායක කරු ජයසූරිය තීන්දු කළේය.

ඒ සමගම පාර්ලිමේන්තුවේ උණුසුම්කාරී වාතාවරණයක් ඇති වූ අතර කථානායකවරයා කළ ප්‍රකාශයට විරෝධය පළ කරමින් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් සභා ගර්භය මැදට පැමිණ කෑ කෝ ගැසීම හේතුවෙන් සභාව මිනිත්තු දහයකට කල් තැබිණි.

තමන්ට පාර්ලිමේන්තුව තුළ ස්වාධීන පක්ෂයක් වශයෙන් කටයුතු කිරීමට ඉඩ ලබා දෙන ලෙස විමල් වීරවංශ මන්ත්‍රීවරයා ජාතික නිදහස් පෙරමුණ වෙනුවෙන් කථානායකවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබිණි.

පාර්ලිමේන්තුව තහනම්

Grey line
Grey line

මන්ත්‍රී විමල් වීරවංශ විසින් කරන ලද ඉල්ලීම පිළිගැනීමට හැකියාවක් නැති බව කථානායක කරු ජයසූරිය ප්‍රකාශ කිරීමත් සමග දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා දිගින් දිගටම පාර්ලිමේන්තුවේ කටයුතුවලට බාධා එල්ල කිරීම හේතුවෙන් ඔහුට සභා ගර්භයෙන් ඉවත්වන ලෙස කථානායකවරයා නියෝග කළේය.

එම නියෝගය නොතකා කටයුතු කිරීම මත ඔහුට සතියක කාලයක් පාර්ලිමේන්තුව තහනම් කළ යුතු බවට පාර්ලිමේන්තු සභා නායක ලක්ෂමන් කිරිඇල්ල ගෙන ආ යෝජනාව වැඩි ඡන්ද 63 කින් සම්මත විය.