අලුත් සන්ධානයක් ගොඩනැගීමට සූදානම් -දිනේෂ්

ඡායාරූප මූලාශ්‍රය, dinesh goonawardhana
පසුගියදා බිහි වූ පොදුජන පෙරමුණත් ඇතුළුව දේශපාලන පක්ෂ රාශියක් එකමුතුව ඒකාබද්ධ විපක්ෂය හැටියට දැනට වේදිකාගතව සිටින අතර, එය තවත් පුළුල් කරමින් අනාගතයේ අලුත් සන්ධානයක් යටතේ දේශපාලන සටන් සඳහා සහභාගී වීමේ හැකියාව පිළිබඳව දැනට සාකච්ඡා කෙරෙමින් ඇතැයි මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන පවසයි.
බීබීසී සිංහල සේවය සමඟ පැවැත්වූ සාකච්ඡාවක දී අදහස් දැක්වූ මහජන එක්සත් පෙරමුණේ නායකයා, දැනට ඇති සන්ධාන පරමාර්ථවලට පටහැණිව කටයුතු කරන්නේනම් අලුත් සන්ධාන ගොඩනැගීමේ ගැටළුවක් නොමැති බවත් කියාසිටියේය.
ඒකාබද්ධ විපක්ෂය තුළ නියෝජනය වෙන දේශපාලන පක්ෂ වෙනම ස්වාධීන කණ්ඩායම් හැටියට පාර්ලිමේන්තුව තුළ කටයුතු කිරීමට තුඩුදුන් දේශපාලන පසුබිම පිළිබඳව බීබීසිය විමසීමක් කළවිට ඊට පිළිතුරු දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන, තමා විපක්ෂයේ බහුතර කණ්ඩායමට නායකත්වය දෙමින් සිටියත් මන්ත්‍රී සංඛ්‍යාව අඩු පිළිගත් විපක්ෂයට දෙන පාර්ලිමේන්තු කාලය තමන්ට නොලැබෙන බව පෙන්වා දුන්නේය.

"පසුගියදා විපක්ෂ නායක ආර්.සම්බන්ධන් ඉදිරිපත් කළ යෝජනාවකදී ඔහු විනාඩි අනූවක් කතාකළා. ඔහුගේ පක්ෂයට විනාඩි 120 ක කාලයක් ලැබුණා. නමුත් බහුතරය නියෝජනය කරන ඒකාබද්ධ විපක්ෂයට ලැබුනේ විනාඩි විස්සයි"මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන පවසයි.
එවැනි තත්වයක් යටතේ ඒකාබද්ධ විපක්ෂය තුළ නියෝජනය වෙන දේශපාලන පක්ෂ ස්වාධීනව කටයුතු කිරීමට සාකච්ඡා මගින් තීන්දු කළ බව කියාසිටි මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන, එවැනි ක්‍රියාමාර්ගයක් ගනු ලබන්නේ කතානායක වරයා විසින්ම සිදුකරන ලද දැනුම් දීමක් අනුව බවත් සඳහන් කළේය.
පාර්ලිමේන්තුව පිළිගත් දේශපාලන පක්ෂ හැටියට පෙනී සිටීම මගින් පාර්ලිමේන්තු විවාදවලදී සහ කාරක සභා තුළ ඒකාබද්ධ විපක්ෂයට දැනට වඩා වැඩි අවස්ථා ලබාගැනීම තම ඉලක්කය වන බවත් ඔහු පෙන්වාදෙයි.





