විමල් යළිත් රිමාන්ඩ්

පසුගිය රජයේ අමාත්‍යවරයෙකුව සිටියදී රජයේ වාහන අවභාවිත කළ බවට චෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මාර්තු 6 දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අද (පෙබ.20) නියෝග කළාය.

මේ වන විට දින හතළිස් දෙකක් තිස්සේ ප්‍රමාණවත් වැසිකිළි පහසුකම් පවා නැති අඩි 8ක දිග සහ අඩි 4ක් පළල කුඩා සිර කුටියක රඳවා තැබීමෙන් විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ මූලික අයිතිවාසිකම් පවා අහිමිවී ඇති බව අද අධිකරණය හමුවේ කරුණු දැක්වූ විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ නීතිඥයෝ පෙන්වා දුන්හ.

එසේම තම සේවාදායකයා එල් ටී ටී ඊ ඝාතන ලයිස්තුවේ ඉහළින් ම සිටි අයෙකු බවත් අද ඔහු මැගසින් බන්ධනාගාරයේ එල් ටී ටී ඊ සැකකරුවන් සහ පාතාල කල්ලි සාමාජිකයන් සමග රඳවා තැබීමෙන් ඔහුගේ ජීවිතයට තර්ජනයක් එල්ලවී ඇති බවත් ඔවුහු පෙන්වා දුන්හ.

ඒ අනුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මැගසින් බන්ධනාගාර අධිකාරීවරයාට දැනුම් දුන්නේ ඒ පිළිබඳව සොයා බලන ලෙසය.