ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
වීරවංශට තවත් නඩුවක්
පසුගිය වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා ශ්‍රී ලංකාවේ සංචාරයකළ අවස්ථාවේදී කොළඹ දියත්වූ උද්ඝෝෂණය පිළිබඳ පරීක්‍ෂණ අවසන්වී ඇති බව පොලිසිය අද (පෙබ. 08) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කළේය.
පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාව මගින් දන්වා තිබුණේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු හත් දෙනෙකු කොළඹ තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපස මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වූ බවය.
"මහජන පීඩාවක්"
මෙම උද්ඝෝෂණය හේතුවෙන් විශාල මහජන පීඩාවක් සිදුවූ බවද පොලිසිය කියා සිටියේය.
අදාළ පරීක්‍ෂණ අවසන්වී ඇති බැවින් විමල් විරවංශ මන්ත්‍රීවරයා ඇතුළු සැකකරුවන්ට එරෙහිව චෝදනා පත්‍ර ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පොලිසිය මහේස්ත්‍රාත්වරයාට දන්වා සිටියේය.
මෙහි සැකකරුවන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන ජයන්ත සමරවීර, වීරකුමාර දිසානායක සහ ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් ඇතුළු හත් දෙනෙකු නම්කර තිබේ.
අප්‍රේල් මස 24 වැනිදා පැමිණිල්ල නැවත කැඳවීමට නියම කළ අධිකරණය එදිනට චෝදනා පත්‍ර ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස පොලිසියට දැනුම් නියෝග කළේය.