ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සහල් හිඟයකට මුහුණදීමට ආණ්ඩුව සූදානම්-දුමින්ද
වෙළෙඳපොලේ සහල් හිඟයක් ඇතිවීම වළක්වාලීම සඳහා දැනටමත් විදේශ රටවලින් සහල් ආනයනය කරනු ලැබ ඇතිබව කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානායක පවසයි.
බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට සහභාගී වූ කෘෂිකර්ම ඇමතිවරයා රටතුළ සහල් හිඟයක් මතුවීම වැළැක්වීම සඳහා රජය දැනටමත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙනඇති බව කියාසිටියේය.
'සහල් ප්‍රශ්නය නිරාකරණය කිරීම සඳහා ජනාධිපතිතුමා එතුමාගේ පැත්තෙන් පියවර ගෙන තිබෙනවා. ඒඅනුව එතුමා මේ මොහොතේ විදේශ රටවලින් අපට ලබාගත හැකි ආධාර පිළිබඳව සාකච්ඡා කරලා තියෙනවා' ආණ්ඩුව විසින් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව බීබීසිය විමසීමක් කළවිට ඇමතිවරයා සඳහන් කළේය.
රජය සතු සහල් තොග වෙළෙඳපොළට මහාපරිමාණයෙන් නිකුත් නොකරනු ලැබීම මුල්කර ගනිමින් ආණ්ඩුව සහ සහල් තොගවෙළෙඳුන් අතර පවතින විවාදය පිළිබඳව සඳහන් කරන ඇමතිවරයා, ඉදිරි කාලයේ නියඟයක් ඇතිවුවහොත් ඊට මුහුණදීමේ ආරක්‍ෂිත පියවරක් වශයෙන් අතිරේක සහල්තොග ගබඩාකර කර තැබීමේ වැදගත්කම අවධාරණය කළේය.
ඉදිරි කාලයේ ඇතිවිය හැකි නියඟයකට මුහුණදීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ජනාධිපතිවරයා විසින් ඇමතිවරුන් කීපදෙනකු නම්කරනු ලැබ ඇති අතර, එම කමිටුව මගින් සැලැස්මක් පිළියෙළ කෙරෙමින් ඇති බවත් කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානායක පවසයි.
'වෙනදා සූදානම් වෙන්නේ නියඟය ආවාමයි. ඒත් මෙවර නියඟයට කලින් ම අපි ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සතිපතා රැස්වී සාකච්ඡා කරනවා'ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කිරීමේ තත්වයක් දැනට නොමැති නමුත් ඉදිරියේ ඇතිවිය හැකි සහල් හිඟයක් පිළිබඳව ජනතාව දැනුවත් කර තැබීමේ උවමනාවක් ඇති බවයි ඇමතිවරයා පවසන්නේ.