පියයුරු පිළිකාවට ගොදුරු වූ එකම පවුලේ පුරුෂයන් තිදෙනෙක්

Giles Cooper (centre), his father and uncles

ඡායාරූප මූලාශ්‍රය, Giles Cooper

ඡායාරූප ශීර්ෂ වැකිය, මීට කලින් සිය පියාටත්, බාප්පාටත් පියයුරු පිළිකාව වැළඳී තිබුණු නිසා තමාටත් රෝගය වැළඳීම ගැන ජයිල්ස් කූපර් පුදුම නොවීය

සාමාන්‍යයෙන් පියයුරු පිළිකා වැළඳෙන්නේ කාන්තාවන්ට වුවත් බ්‍රිතාන්‍යයේ සිය ගණනක් පුරුෂයන්ට වසරකට පියයුරු පිළිකාව වැළඳෙන බව දැන් හෙළි වී තිබේ.

එකම පවුලේ පුරුෂයන් තිදෙනකුට පියයුරු පිළිකාව වැළඳුන ජයිල්ස් කූපර්ගේ කතාවයි, මේ.

පියයුරු පිළිකාව වැළඳී ශල්‍යකර්මයකට භාජනය කරනු ලැබීමෙන් අනතුරුව ජයිල්ස් කූපර් දැන් සුවය ලබා සිටී.

මීට කළින් සිය පියාටත්, බාප්පාටත් පියයුරු පිළිකාව වැළඳී තිබුණු නිසා තමාටත් රෝගය වැළඳීම ගැන ඔහු පුදුම නොවීය.

"මේ මගේ තාත්ත ස්ටීවන්. තාත්තට 2004 දි පියයුරු පිළිකාව හැදුණා," ඔහු සිය පියාගේ ඡායාරූපයක් පෙන්වමින් පවසයි. ඒ අසලම තවත් පුරුෂයකුගේ ඡායාරූපයකි.

"මේ මගේ බාප්පා. ඊට අවුරුදු තුනකට පස්සේ 2007 දි එයා මැරුණ."

A man pictured after breast cancer surgery

ඡායාරූප මූලාශ්‍රය, University Hospital of Wales

කාන්තාවන්ට වැළඳෙන පියයුරු පිළිකාව පිළිබඳව මුළු ලෝකයම දැන සිටියත් පුරුෂයන්ගේ පියයුරු පිළිකාව ගැන ලොව බොහෝ දෙනා නොදන්නා බැවින් රෝගය වැළදීමෙන් පසුව හුදෙකලා වූ සෙයක් දැනුන බව ජයිල්ස් කූපර් පවසයි.

තමන්ටත් රෝගය වැළඳී ඇතැයි හෙළි වූ අවස්ථාවේ ඇති වූ හැඟීමත් ඔහු විස්තර කළේය.

"ඒක පිළිකාවක් වෙන්න ඇති කියල මට හිතුණා. ඒත් දොස්තරවරු ඒක කියපු වෙලාවේ මට එකපාරටම හිතුණේ දැන් මාව මැරේවි නේද කියල," ඔහු පැවසීය.

"දැන් ආපහු බලන කොට සැත්කමකින් ඒක ඉවත්කරපු එක හොඳම දේ කියල මට හිතෙනවා. මොකද මගේ බාප්පාගේ එක පියයුරක මතුවුණ පිළිකාව අනෙක් පියයුරටත් පැතිරිලා තිබුණ. තාත්තගෙත් එහෙම වුනා. ඒ නිසා මට කිසිම අවදානමක් ගන්න ඕන වුනේ නැහැ."

බ්‍රිතාන්‍යයේ සාමාන්‍යයෙන් වසරකට 50,000 කට ආසන්න කාන්තාවන්ට පියයුරු පිළිකාව වැළඳෙන නමුත්, වසරකට සාමාන්‍යයෙන් එය වැළඳෙන්නේ පුරුෂයන් 350 කට පමණයි.

එබැවින් පිළිකා මර්දන වැඩසටහන් සාමාන්‍යයෙන් පුරුෂයන් ගැන වැඩි අවධානයක් පළනොකරන බව ජයිල්ස් පෙන්වාදෙයි. එබැවින් රෝගය පිළිබඳව ජනතා අවධානය වැඩිකිරීමේ අවශ්‍යතාව ඔහු 'Brest Cancer Now' පුණ්‍යායතනයට පෙන්වා දුන්නේය.

"මේ වෙබ් සයිට් එකේ තියන දේ බලන්න. කාන්තාවෝ පියයුරු පිළිකාව වැළඳිලා මියයන එක වළක්වන්න ඕන කියල මෙතන තියෙන්නේ. ඇයි මේක කාන්තාවන් සහ පුරුෂයන් කියල වෙනස් නොකරන්නේ?," ඔහු පවසයි.

cancer treatement

ඡායාරූප මූලාශ්‍රය, Science Photo Library

"මම කියන්නේ මේකයි. හුඟාක් පුණ්‍යායතන පුරුෂයන්ගේ පියයුරු පිළිකාව ගැන කිසිම සඳහනක් කිරීමෙන් වළකිනවා. පුරුෂයන්ගේ පියයුරු පිළිකාව ගැන පර්යේෂණවලටත් අරමුදල් සපයන Brest Cancer Now වගේ පුණ්‍යායතන පවා ඒ ගැන එයාලගේ වෙබ් අඩවියේ පළකරන්නේ නෑ."

රෝයි පියයුරු පිළිකාවෙන් පෙළුන තවත් පුරුෂයෙක්. සැත්කමෙන් අනතුරුව සමාජයට මුහුණදීමට තමන්ටත් කලක් ගත වූ බව රෝයි පවසයි.

"මම කියන්න ඕනේ ප්‍රසිද්ධියේ ෂර්ට් එක ගලවන්න මට අවුරුදු ගාණක් ගියා," රෝයි පැවසීය.

"අපි එකපාරක් බෝට්ටුවේ ට්‍රිප් එකක් ගිය වෙලාවේ බෝට්ටුවේ හිටපු කෙනෙක් නැගිට්ටම මම දැක්ක එයාගේ එක කකුලයි තියෙන්නේ කියල. දෙයියනේ මට මොනවාද නැත්තේ කියල මට ඒ වෙලාවේ හිතුන. මට කිසිම දෙයක් නැතිවෙලා නෑනේ? එදා තමයි මට තේරුණේ ෂර්ට් එක ගැලෙවුව කියල මට ලජ්ජාවෙන්න දෙයක් නැති බව."

පුරුෂයන්ගේ පියයුරු පිළිකාව පිළිබඳව පර්යේෂණ පැවැත්වීම පිණිස පවුම් ලක්ෂ 18 ක් වෙන් කර තිබෙන 'Brest Cancer Now' ආයතනය, පියයුරු පිළිකාවෙන් පෙළෙන පුරුෂයන් 2000 ක් යොදාගෙන දැනටමත් දිගුකාලීන පර්යේෂණයක නිරතව සිටී.

ජයිල්ස් කූපර් ද දැන් එම පර්යේෂණයට සහභාගි වෙමින් සිටී.