ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ලේකම්වරිය සමාව ගතයුත්තේ ජනතාවගෙන් - රන්ජන්
පස් කැපීමේ සිද්ධියක් මුල්කර ගනිමින් දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්වරියට දුරකතනයෙන් බැනවැදීම පිළිබඳ සමාව ගැනීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකට පෙබරවාරි 03 වෙනිදා දක්වා කාලය ලබා දෙන බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පවසයි.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර සමග සිය සංගමයේ නිලධාරීන් හා අදාළ ප්‍රාදේශීය ලේකම්වරිය අතර හමුවක් අද (ජන.30) කොළඹදී පැවැත්වුණු බවත් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සභාපති රන්ජිත් ආරියරත්න කියා සිටියේය.
ඒ සම්බන්ධයෙන් සමාව අයැදීමට සූදානම් දැයි බීබීසී සිංහල සේවය නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකගෙන් විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ දිවුලපිටිය ප්‍රාදේශීය ලේක්ම්වරිය ඇතුළු බහුතරයක් කාර්ය මණ්ඩලයේ නිලධාරීන් අකරගම ජනතාවගෙන් සමාව ගත යුතු බවය.
" මේ පස් කැපීම, වැලි ගොඩ දැමීම, බලපත්‍රවලින් පිට ගොස් ගස් කැපීම, බොරළු කැපීම, ගල් කැඩීම නවත්ත ගන්න බැරි වුනාට මේ අය අකරගම ජනතාවගෙන් සමව ගතයුතුයි." ඔහු පැවසීය.
අදාළ ප්‍රාදේශීය ලේකම්වරිය හා පැවති දුරකථන සංවාදය අතරතුර ඔහුගේ වචන භාවිතය සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේ නියෝජ්‍ය ඇමතිවරයා කියා සිටියේ, "මම හොම්බට අනිනවා කිවේ නැහැ, මම කිව්වේ ඔබතුමියට කවුරුහරි ඔතනට ඇවිල්ල හොම්බට ඇන්නොත් ඔබතුමිය ඒකට ලිඛිතව පැමිණිල්ලක් ඉල්ලනවද කියලා," යනුවෙනි.
"හෙණ ගහනවා කියන්නේ මිනිස්සු සාමාන්‍යයෙන් කියන දෙයක්. මම අදත් කියනවා මේ පරිසරය විනාශ කළ අයට හෙණ ගහන්න ඕනේ."
ප්‍රදේශයේ පස්, බොරළු සහ වැලි කැපීමේ ජාවාරමක නිරතවන 'මාෆියාවක්' ක්‍රියාත්මකවන බව පවසන නියෝජ්‍ය අමාත්‍යවරයා, එම කණ්ඩායම් අතර ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙසින් මේ වනවිට 48 දෙනකු මරුමුවට පත් වී ඇතැයි රහස් පොලිස් නිලධාරීන් තමන් සමග කියා සිටි බවත් වැඩිදුරටත් පැවසීය.