වැසි ජලය එක්රැස්කර තබන්නේ නම් ප්‍රවේශම් වන්න

එකම විකල්පය තමයි නෙට් එකකින් හෝ වසා තැබීම
ඡායාරූප ශීර්ෂ වැකිය, එකම විකල්පය තමයි නෙට් එකකින් හෝ වසා තැබීම

මෙම වසරේ පළමු දින 21 තුළ පමණක් ඩෙංගි යැයි සැකකෙරෙන රෝගීන් 2584 දෙනෙකු වාර්තාවී ඇති බවත් ඉන් තිදෙනෙකු මියගොස් ඇති බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

නියඟයෙන් පීඩාවට පත්වී සිටින ජනතාව වැසි ජලය එක්රැස්කිරීමට පෙළඹෙන අතර එම ජල භාජන ඩෙංගි මදුරුවාට බිත්තර දැමීම සඳහා 'තෝතැන්නක්' වනබව ඩෙංගි මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර බීබීසී සංදේශයට කියා සිටියාය.

ජලය එක්රැස්කර ඇති භාජන තුළට මදුරුවන්ට ඇතුළුවිය නොහැකිවන පරිදි දැලකින් හෝ වෙනත් ආවරණයකින් වසා තබන ලෙස ඇය ජනතාවගෙන් ඉල්ලීමක් කළාය.

භාජනය හොඳට අතුල්ලලා හෝදලා දානවනම් මදුරු බිත්තර රැඳෙන්නේ නැහැ

ඡායාරූප මූලාශ්‍රය, Thinkstock

ඡායාරූප ශීර්ෂ වැකිය, භාජනය හොඳට අතුල්ලලා හෝදලා දානවනම් මදුරු බිත්තර රැඳෙන්නේ නැහැ

"මේව බීමට සහ ආහාර පිසීමට ගන්නා ජලය නිසා කීට නාශක යොදන්න බැහැ. එකම විකල්පය තමයි නෙට් එකකින් හෝ වසා තැබීම. එකපාරක් ජලය හිස්වුනාම නැවත ජලය රැස්කරන්න කලින් ඒ භාජනය හොඳට අතුල්ලලා හෝදලා දානවනම් මදුරු බිත්තර රැඳෙන්නේ නැහැ." යනුවෙන් වෛද්‍යවරිය ප්‍රකාශ කළාය.

තවමත් වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වන්නේ බස්නාහිර පලාතෙන් වන අතර මේවනවිට උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් වාර්තාවන රෝගීන් සංඛ්‍යාවේ ඉහළයාමක් දක්නට ලැබෙන බව වෛද්‍ය ප්‍රශිලා සමරවීර පවසන්නීය.