අක්කර 15,000 ලියවිල්ලකත් නෑ, එකඟවෙච්ච තැනකුත් නෑ - ජනපති

වීඩියෝ ශීර්ෂ වැකිය, අක්කර 15,000 කථාව ඇමතිවරු වරද්දගත්තා - ජනපති

චීන ව්‍යපෘති සඳහා දකුණු පළාතෙන් අක්කර 15,000ක් ලබාදෙන බවට ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරු දිගින් දිගටම කරන ප්‍රකාශ වැරදි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

මහනුවර පැවති උත්සව සභාවක් අමතමින් අදහස් දැක් වූ ජනාධිපතිවරයා, චීන ව්‍යාපෘති සඳහා අක්කර 15,000ක් ලබා දෙන බවට රජය මෙතෙක් කිසිදු එකඟත්වයකට පැමිණ නොමැති බව අවධාරණය කළේය.

"මම කණගාටුවෙන් වුවත් කියන්නට ඕනේ. අපෙත් සමහර මැති ඇමතිවරු මේක වරද්ද ගත්තා. මේ අක්කර 15,000 ක කතාවක් එකදිගට කියන්න ගිහිල්ලා," ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය.

"මම ඊයේ නිලධාරීන් කැඳවලා ඇහුවා අක්කර 15,000 කතාවක් කොහෙද තියෙන්නේ කියලා. අක්කර 15,000 කතාව කිසිදු ලියවිල්ලකත් නැහැ, එකඟ වෙච්ච තැනකුත් නැහැ."

හම්බන්තොට
ඡායාරූප ශීර්ෂ වැකිය, ගම්මානවලින් ජනතාව ඉවත්කරමින් හෝ 'විහාරස්ථාන බුල්ඩෝසර් කරමින්' ඉඩම් ලබාදෙන ප්‍රතිපත්තියක් නොමැති බව ජනාධිපතිවරයා අවධාරණය කරයි

විදේශ ආයෝජන සහ කර්මාන්ත රටට අවශ්‍ය බව පවසන ජනාධිපතිවරයා, ශ්‍රී ලංකාවේ භුමියේ අයිතිය වෙනත් කිසිදු රටකට අයත්වීමට ඉඩ ලැබෙන ආකාරයට ඒ සඳහා ඉඩම් ලබා නොදෙන බව අවධාරණය කළේය.

කර්මාන්ත සඳහා සුදුසු ස්ථාන සොයා රජය ඉඩම් ලබාදෙන බව වැඩිදුරටත් සඳහන් කළ ජනාධිපතිවරයා, ගම්මානවලින් ජනතාව ඉවත්කරමින් හෝ ඇතැමුන් පවසන ආකාරයට 'විහාරස්ථාන බුල්ඩෝසර් කරමින්' එම ඉඩම් ලබාදෙන ප්‍රතිපත්තියක් රජයේ නොමැති බවත් අවධාරණය කළේය.

"ලෝකේ කිසිම රටකට මේ රටේ බිම් අඟලක් දෙන්න මම කටයුතු කරන්නේ නැහැ කියලා බොහොම පැහැදිලිව කියන්නට ඕන."

President Sirisena
ඡායාරූප ශීර්ෂ වැකිය, "මම ඊයේ නිලධාරීන් කැඳවලා ඇහුවා අක්කර 15,000 කතාවක් කොහෙද තියෙන්නේ කියලා. අක්කර 15,000 කතාව කිසිදු ලියවිල්ලකත් නැහැ, එකඟ වෙච්ච තැනකුත් නැහැ"

හම්බන්තොට ජනතාව පදිංචිව සිටින ඉඩම් පවරාගෙන චීන සමාගම්වලට බදුදීමට සැරසෙන බවට චෝදනා කරමින් පසුගිය සති කිහිපය මුළුල්ලේ හම්බන්තොට උද්ඝෝෂණ දියත්වෙමින් පවතී.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේ පසුගිය කාලයේ උදම් අනන සංවර්ධනය සිදු වූයේ රුපියල් කෝටි නවලක්ෂයක් ණය බරක මත බවයි.

ජනප්‍රිය වීමට අවශ්‍ය නම් සිය රජයටද ඕනෑ තරම් ණය ලබාගෙන එවන් සංවර්ධනයක් පෙන්නුම් කළ හැකි නමුත් රටේ ණය බර තවත් වැඩිකරන එවන් වැඩපිළිවෙලකට යාමට තම රජය සූදානම් නොමැති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

අමාත්‍යවරු හම්බන්තොට සංචාරයක
ඡායාරූප ශීර්ෂ වැකිය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලින් අක්කර 15,000 ක් පවරාගැනීමට නියමිත බව බොහෝ අමාත්‍යවරු පවසා තිබුණි