ශ්‍රී ලංකන් ගුවන් සේවය ආයුධ ප්‍රවාහනය කළා - මහින්දානන්ද

'අපේ ශ්‍රී ලංකන් ගුවන් සේවාව තමයි පාකිස්තානයට ගිහිල්ල ආයුධ ගෙනාවේ. අපේ හමුදා සෙබළුන්ට. දැන් මේවා පාඩුයි කියනවා'

ඡායාරූප මූලාශ්‍රය, FCA

ඡායාරූප ශීර්ෂ වැකිය, 'අපේ ශ්‍රී ලංකන් ගුවන් සේවාව තමයි පාකිස්තානයට ගිහිල්ල ආයුධ ගෙනාවේ. දැන් මේවා පාඩුයි කියනවා'

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානා යුද සමයේදී ආයුධ ප්‍රවාහනය සඳහා පවා යොදාගත් බව මහින්දානන්ද අළුත්ගමගේ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව හමුවේ අනාවරණය කළේය.

ශ්‍රී ලංකන් ගුවන් සේවය පුද්ගලික සමාගමකට පැවරීමට රජය ගෙන ඇති තීරණය වහා නවතා දමන ලෙසත් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මහින්දානන්ද අළුත්ගමගේ රජයෙන් ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වර්තමාන තත්වය පිළිබඳව අයවැය විවාදයේදී අදහස් දැක් වූ හිටපු අමාත්‍යවරයා, "පාඩුවත් රජය අරගෙන කොහේවත් නැති සිංගප්පූරු, මාලදිවයින් කේටරින් සමාගකට මේක දෙන්න හදනවා," යනුවෙන්ද සඳහන් කළේය.

"අපිට ඉතාමත් තීරණාත්මක වෙලාවේ අපේ ශ්‍රී ලංකන් ගුවන් සේවාව තමයි පාකිස්තානයට ගිහිල්ල ආයුධ ගෙනාවේ. අපේ හමුදා සෙබළුන්ට. දැන් මේවා පාඩුයි කියනවා."

2017 වසර වන විට ශ්‍රී ලංකන් ගුවන් සේවය ලාභ ලබන ආයතනයක් බවට පත්කිරීමට පසුගිය රජය සැලසුම් කර තිබූ බවත් ඔහු පැවසීය.

ශ්‍රී ලංකන් සමාගමට අනුබද්ධ කරන විට මිහින් එයාර් සමාගම රුපියල් බිලියන 12ක පාඩුවක් ලබා තිබුණු බව නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න පවසයි

පසුගිය රජය යටතේ ශ්‍රී ලංකන් සේවයට පාඩු සිදු වූ බව පිළිගත් අළුත්ගමගේ මන්ත්‍රීවරයා එහි '2% ක් හෝ 3%ක්' දූෂණ වංචා සිදුවී තිබෙන්නට ඇතැයි ද සඳහන් කළේය.

"අපි කියනවා යම් යම් අඩුපාඩු තිබුණා. 2% - 3% වංචාවක් තියෙන්න ඇති. හැබැයි අවුරුදු 1 1/2 ගියා, ශ්‍රී ලංකන් සමාගමේ එක්කෙනෙක් ගෙනල්ලා හිරේ දැම්මද?," මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.

ආණ්ඩුව වෙනුවෙන් විවාදයේදී අදහස් දැක්වූ එරාන් වික්‍රමරත්න නියෝජ්‍ය අමාත්‍යවරයා, ජනතාවගේ බදු මුදලින් පාඩු ලබන හෝටල් සහ ගුවන් සමාගම් පවත්වාගෙන යාමට ආණ්ඩුවට හැකියාවක් නොමැති බව සඳහන් කළේය.

ශ්‍රී ලංකන් සමාගමේ ආයෝජනය කිරීම සඳහා ඉදිරිපත් වූ සමාගම් අටෙන් සමාගම් තුනක් මේ වසර අවසන් වීමට ප්‍රථම ඔවුන්ගේ යෝජනා ඉදිරිපත් කිරීමට නියමිත බව ද සඳහන් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, ශ්‍රී ලංකන් සේවය විකුණා දැමීමේ සැලසුමක් නොමැති බව අවධාරණය කළේය.

ලාභ ලබමින් තිබුණු මිහින් එයාර් ගුවන් සේවය නවතා දැමූ බවට අලුත්ගමගේ මන්ත්‍රීවරයා නැගූ චෝදනාව ද ප්‍රතික්ෂේප කළ නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න, ශ්‍රී ලංකන් සමාගමට අනුබද්ධ කරන විට මිහින් එයාර් සමාගම රුපියල් බිලියන 12ක පාඩුවක් ලබා තිබුණු බවත් සඳහන් කළේය.

'පාඩුවත් රජය අරගෙන කොහේවත් නැති සිංගප්පූරු, මාලදිවයින් කේටරින් සමාගකට මේක දෙන්න හදනවා'

ඡායාරූප මූලාශ්‍රය, SriLankanCatering.com

ඡායාරූප ශීර්ෂ වැකිය, 'පාඩුවත් රජය අරගෙන කොහේවත් නැති සිංගප්පූරු, මාලදිවයින් කේටරින් සමාගකට මේක දෙන්න හදනවා'