ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
HIV: සැඟවෙන්න එපා !
සමාජයෙන් ගර්හාවට ලක්වෙතැයි බිය ඇතිවීම නිසා ඇතැම් HIV ආසාදිතයන් ප්‍රතිකාර ලබා නොගෙන සමාජයෙන් සැඟවී ජීවත්වීමට පෙළඹෙන බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන ව්‍යාපෘතිය පවසයි.
එවැනි පුද්ගලයන් ප්‍රතිකාර සඳහා යොමුකරවා ගැනීමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන ව්‍යාපෘතියේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සිසිර ලියනගේ බීබීසී සංදේශයට ප්‍රකාශ කළේය.
ඒ සඳහා සමාජය දැනුවත් කිරීමේ වැඩසටහනක්, ලෝක ඒඩ්ස් දිනය සැමරෙන අද (දෙසැ. 01) කොළඹදී ආරම්භ කළ බව ඔහු පැවසීය.
අනාරක්ෂිත ලිංගික හැසිරීම්
HIV වෛරසය ශරීරගත වූවන්, 1987 වසරේ පටන් මේ දක්වා ශ්‍රී ලංකාවෙන් සොයා ගැනීමට හැකිවී ඇත්තේ 2540 දෙනෙකු පමණක් බවත් ඉන් 450 දෙනෙකු පමණ මේ වනවිට මියගොස් ඇති බවත් වෛද්‍ය සිසිර ලියනගේ සනාථ කළේය.
නමුත් මේ වනවිට HIV ආසාදිතයන් 4200 දෙනෙකු පමණ ශ්‍රී ලංකාව තුළ ජීවතුන් අතර සිටින බවට ඇස්තමේන්තුකර ඇති බව ඔහු පවසයි.
ඔවුන් අතරින් සියයට පනහක පමණ ප්‍රතිශතයක් තමන්ට HIV ආසාදනයවී ඇතැයි නොදැන ජීවත්වන බව වෛද්‍යවරයා කියා සිටියේය.
ඔහු තවදුරටත් කියා සිටියේ HIV වෛරසය ශරීරගතවූ ශ්‍රී ලාංකිකයන්ගෙන් සියයට 95ක්ම අනාරක්ෂිත ලිංගික හැසිරීම් නිසා එම තත්වයට ගොදුරු වී ඇති බවය.