විමල් වීරවංශ ඇතුළු පිරිසට 'චෝදනා ගොනු කරනවා'

මානව හිමිකම් සම්බන්ධ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේ උද්ඝෝෂණ පවත්වා මාර්ග අවහිර කිරීම සම්බන්ධයෙන් විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඇතුළු පිරිසකට එරෙහිව චෝදනාපත්‍ර ගොනුකරන බව පොලිසිය පවසයි.
මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී කොළඹ තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ග අවහිර කොට උද්ඝෝෂණ සිදුකිරීම තුලින් සැකකරුවන් මහජන පිඩාවක් සිදුකර ඇතැයි චෝදනා කරමින් පොලිසිය විසින් නඩු පවරනු ලැබ තිබේ.
අදාළ චෝදනාව යටතේ පරීක්ෂණ අවසන් කර ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයින් අට දෙනෙකුට එරෙහිව චෝදනාපත්‍ර ගොනු කිරීමට බලාපොරොත්තු වන බව අදාළ පැමිණිල්ල කැඳ වූ අවස්ථාවේදී පොලිසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේය.

විමල් වීරවංශ, ජයන්ත සමරවීර සහ වීරකුමාර දිසානායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයින් හත් දෙනා අධිකරණයේ පෙනී සිටියහ.
පොලිසියේ කරුණු දැක්වීමෙන් අනතුරුව පැමිණිල්ල ලබන පෙබරවාරි මස 08 වැනි දින යළිත් කැඳවීමට නියම කළ අධිකරණය, එදිනට පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරන්නැයි පොලිසියට නියෝග කළේය.




