කොකේන් නිසා සීනි හිඟයක්?

කන්ටේනර් අංගනය

ඡායාරූප මූලාශ්‍රය, LAKRUWAN WANNIARACHCHI/ Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, "ලංකාවට දවසට කන්ටේනර් 1300 ක් පමණ එනවා. ඒ සේරම වෙන වෙනම පරීක්ෂා කරන එක දුෂ්කරයි"

මෑතදී ශ්‍රී ලංකාවට ගෙන්වන ලද සීනි කන්ටේනර් ගණනාවක කොකේන් සඟවා තිබුණු බැවින් දෙවෙනි වතාවටත් කන්ටේනර් පරීක්ෂා කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමට සිදු වූ බව රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

එහි ප්‍රතිඵලයක් වශයෙන් බ්‍රසීලයෙන් ආනයනය කරන සීනි ශ්‍රී ලංකා රේගුවෙන් නිදහස් කිරීමේ පමාවක් තිබෙන බවත් රේගු අධ්‍යක්ෂ ජනරාල් චූලානන්ද පෙරේරා පිළිගත්තේය.

"ශ්‍රී ලංකාවට ආනයනය කෙරෙන සීනිවලින් වැඩි ප්‍රමාණය ගෙන එන්නේ බ්‍රසීලයෙන්. ඒ සීනි එන්නේ පෘතුගාලය හරහා. ඒ කන්ටේනර් ගණනාවක කොකේන් සඟවා තිබුණු බව දැන් බොහෝ දෙනා දන්නවා," චූලානන්ද පෙරේරා බීබීසී සංදේශයට පැවසීය.

එසේ සඟවා තිබූ කොකේන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සොයාගනු ලැබීමෙන් අනතුරුව සෑම කන්ටේනරයක් ම පරීක්ෂා කිරීමේ ක්‍රියාදාමයක් දියත් කරන්නට සිදුවූ අතර එය ඉතා වෙහෙසකර කාර්යයක් බව ද ඔහු පැවසීය.

කොකේන් හා සීනි එකම ඝනත්වයෙන් යුතු බැවින් රේගුව සතු ස්කෑනර් යන්ත්‍ර මගින් ඒවා වෙන වෙනම හඳුනාගැනීම දුෂ්කර බව ඔහු පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේදී හමු වූ විශාලතම කොකේන් තොගය පසුගිය ජුනි මාසයේදී අත්අඩංගුවට ගැනින
ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකාවේදී හමු වූ විශාලතම කොකේන් තොගය පසුගිය ජුනි මාසයේදී අත්අඩංගුවට ගැනින

"විශේෂයෙන්ම කොරියාව වගේ ඉහළම තාක්ෂණය තියන රටක පවා මත්ද්‍රව්‍ය හඳුනාගැනීම සිද්ධවෙන්නේ තොරතුරු මත," යැයි පැවසූ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා "ලංකාවට දවසට කන්ටේනර් 1300 ක් පමණ එනවා. ඒ සේරම පරීක්ෂා කරන එක දුෂ්කරයි. ඒ නිසා පොඩ්ඩක් ලිහිල් කළා, නමුත් දැන් ආයෙත් එනවා," යැයි ප්‍රකාශ කළේය.

එහි ප්‍රතිඵලයක් වශයෙන් සියලු කන්ටේනර් පරීක්ෂා කිරීම යළි ආරම්භ කිරීමට සිදු වනු ඇති බවත් රේගු අධ්‍යක්ෂ ජනරාල් චූලානන්ද පෙරේරා සඳහන් කළේය.

හිඟයක් ඇතිවීමේ අවදානම අවප්‍රමාණ කරනු පිණිස GPS තාක්ෂණයෙන් පරීක්ෂා කිරීමේ ක්‍රමවේදයක් සකසා ගන්නා මෙන් සීනි ආනයනකරුවන්ට දැනුම් දුන් බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.