“සිසුන් මිය යාමේ සිද්ධියේදී නිලධාරීන් විනය කඩකරලා”- පොලිස්පති

"රාජකාරිය කරන විට වෙඩි තැබීමක් සිදු වුනා, අපිට එහිදී ඇති වූ අර්බුදය නම් ඇයි ඒ සිද්ධිය වාර්තා කළේ නැත්තේ. එය විනය කඩකිරීමක්

ඡායාරූප මූලාශ්‍රය, Pujith Jayasundara/ FB

ඡායාරූප ශීර්ෂ වැකිය, "රාජකාරිය කරන විට වෙඩි තැබීමක් සිදු වුනා, අපිට එහිදී ඇති වූ අර්බුදය නම් ඇයි ඒ සිද්ධිය වාර්තා කළේ නැත්තේ. එය විනය කඩකිරීමක්''

යාපනය සරසවියේ සිසුන් දෙදෙනෙකු මිය යෑමේ සිද්ධියේදී අදාළ පොලිස් නිලධාරීන් අතින් යම් 'අඩුපාඩුවක්' සිදුවී ඇති බව පොලිස්පතිවරයා පවසයි.

අද (ඔක්.24) අනුරාධපුරයේදී පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දුන් පොලිස්පතිවරයා, "රාජකාරිය කරන විට වෙඩි තැබීමක් සිදු වුනා, අපිට එහිදී ඇති වූ අර්බුදය නම් ඇයි ඒ සිද්ධිය වාර්තා කළේ නැත්තේ. එය විනය කඩකිරීමක්. සෙල්ලම් වැඩක් නොවෙයි. මේක මනුෂ්‍ය ජීවිත දෙකක්." යැයි කීය.

තරුණයන් දෙදෙනාගෙන් පොලිසියට තර්ජනයක් එල්ල වී නොමැති බව පැවසූ පොලිස්පතිවරයා වැඩිදුරටත් පෙන්වාදුන්නේ, "විශ්ව විද්‍යාල තරුණයෝ දෙන්නෙක්, අහිංසක දෙමව්පියන්ගේ දරුවෝ දෙන්නෙක්" යනුවෙනි.

ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා විනයානුකූල ක්‍රියාමාර්ග ගන්නා බව ද පොලිස්පති පූජිත් ජයසුන්දර පැවසීය.

"පොලිස් නිලධාරියාට බලතල තිබෙනවා, ඒ බලතල ඉක්මවා යන්න කාටවත් බැහැ, අවශ්‍ය තැනට අවශ්‍ය බලය අවම බලය යොදන්න පුළුවන්"

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, "පොලිස් නිලධාරියාට බලතල තිබෙනවා, ඒ බලතල ඉක්මවා යන්න කාටවත් බැහැ, අවශ්‍ය තැනට අවශ්‍ය බලය අවම බලය යොදන්න පුළුවන්"

මේ අතර, අණ නොතකා පලා යන රථයකට වෙඩි තැබීමට පොලිසියට නොහැකි බවට පොලිස් කොමිසමේ ලේකම්වරයා ඊයේ (ඔක්.23) කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දැක්වූ පොලිස්පතිවරයා, "මම හිතන්නේ එක පුද්ගලික මතයක් වෙන්න ඕන, පොලිසියේ අපිට හිතුවක්කාරව ඕනෑම දෙයක් කරන්න බැහැ, හැමදෙයක්ම නිත්‍යානුකූලව පවත්වාගෙන යන තත්වයක්" යනුවෙනි.

"පොලිස් නිලධාරියාට බලතල තිබෙනවා, ඒ බලතල ඉක්මවා යන්න කාටවත් බැහැ, අවශ්‍ය තැනට අවශ්‍ය බලය අවම බලය යොදන්න පුළුවන්" යැයි කී ඔහු, "පොලිස් නිලධාරියෙක් තමන්ගේ අවම බලය භාවිතා කිරීමේදී එය අවශ්‍යතාවය අනුව යම් මට්ටමක, අවශ්‍ය බලතල භාවිතා කිරීමට පොලිස් නිලධාරියාට තියෙනවා නීතියෙන්ම ලබාදුන්නු බලයක්" යැයි අවධාරණය කළේය.

ඊයේ පොලිස් කොමිසමේ ලේකම් අරියදාස කුරේ මාධ්‍ය හමුවක් අමතමින් ප්‍රකාශ කළේ වාහනයක් නොනවත්වා යාමේදී පොලිසියට වෙඩි තැබීමට අයිතියක් නොමැති බවය.

"වාහනය නොනවත්වා යන කෙනෙක් ඉන්නවා නම් ඔහු ගැන ඊළඟ පරීක්ෂණ ස්ථානයට දැනුම්දීම හෝ ඔහු ලුහුබැඳ යාමයි සිදු කළ යුත්තේ" යනුවෙන් පොලිස් කොමිසමේ ලේකම්වරයා පැවසීය.