විරෝධතා මැද යාපනයේ ශෝක දිනයක්

විරෝධතා මැද යාපනයේ ශෝක දිනයක්

යාපනයේදී විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනෙකු මිය යාමේ සිද්ධිය මුල්කරගනිමින් යාපනය දිසාපති කාර්යාලය කාර්යාලය ඉදිරිපිට අද (ඔක්. 24) රැස්වූ විශ්ව විද්‍යාල සිසුහු සිය විරෝධය පළ කළහ.

අද දිනයේ දේශනවලින් ඉවත්වූ යාපනය විශ්ව විද්‍යාලීය සිසුන් ශෝක දිනයක් ද ප්‍රකාශයට පත්කොට ඇත.

විශ්ව විද්‍යාල සිසුන්ගේ ඉල්ලීම මත යාපනය නගරයේ වෙළෙඳසල් ගණනාවක්ම වසා දමා ඇති අතර නගරයේ තැනින් තැන කලු කොඩි ඔසවා විරෝධය පළකොට ඇත.

වෙඩි වැදීමෙන් මියගිය යාපනයේ කන්දරෝඩේයිහි පදිංචි සුදන්දිරරාජා සුලක්ෂන් සිසුවාගේ අවසන් කටයුතු අද (ඔක්.24) පස්වරුවේ සිදු කිරීමට නියමිතව තිබිණ.

විරෝධතා මැද යාපනයේ ශෝක දිනයක්

කෙසේ වෙතත් අදාළ සිසුන් දෙදෙනා මියයාමේ සිද්ධියට විරෝධය දැක්වීම පිණිස දෙමළ දේශපාලන පක්ෂ පහක් හෙට දිනයේදී (ඔක්. 25) උතුරු පළාත තුළ හර්තාල් ව්‍යාපාරයක් සංවිධානය කොට ඇත.

මේ අතර අද උදෑසන යාපනය මහනුවර A9 මාර්ගය අවහිරකරමින් පැය කිහිපයක් විරෝධතාව පළකිරීමේ යෙදුණු සිසුහු යාපනය දිසාපතිවරයාට පෙත්සමක් බාරදීමෙන් අනතුරුව විසිරගියහ.

සිසු ඝාතනයට වගකිවයුත්තන්ට එරෙහිව මාසයක් ඇතුළත නඩු පැවරිය යුතු අතර, මෙම ඝාතනය හදිසි අනතුරක් ලෙස පෙන්වීමට උත්සාහ දැරූ පොලිස් නිලධාරීන්ට පොලිස් කොමිසම හරහා ක්‍රියාමාර්ගයක් ගැනීම, පරීක්ෂණ ක්‍රියාත්මකවන ආකාරය නිරීක්ෂණය කිරීමට ජාත්‍යන්තර හා දේශීය මානව හිමිකම් ක්‍රියාකාරීන්ට අවස්ථා සැලසීම මෙන්ම සිසුන් දෙදෙනා වෙනුවෙන් වන්දි ගෙවීම ඇතුළු කොන්දේසි ගණනාවක් එම පෙත්සමේ ඇතුළත් බව යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගම් නායකයෙක් විරෝධතාව අතරතුර මාධ්‍යට පැවසීය.

යාපනයේදී විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනෙකු මිය යාමේ සිද්ධිය මුල්කරගනිමින් රජරට විශ්ව විද්‍යාල සිසුහුද විරෝධතාවක නිරත වූහ
ඡායාරූප ශීර්ෂ වැකිය, යාපනයේදී විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනෙකු මිය යාමේ සිද්ධිය මුල්කරගනිමින් රජරට විශ්ව විද්‍යාල සිසුහුද විරෝධතාවක නිරත වූහ

එම ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක් හිමිවනතුරු විශ්ව විද්‍යාලයේ කිසිදු කටයුත්තකට සිසුන් සම්බන්ධ නොවන බව ද ඔහු අවධාරණය කළේය.

මේ අතර යාපනයේ සිසුන් මිය යාමේ සිද්ධියට විරෝධය පළකරමින් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ විරෝධතා කිහිපයක් අද දිනයේ (ඔක්. 24) විශ්ව විද්‍යාල කිහිපයක පැවැත්විණි.