නියං සහන සඳහා රුපියල් කෝටි දෙකක්

ජලය සොයා යමින්
ඡායාරූප ශීර්ෂ වැකිය, ජලය සොයා යමින්

දිවයිනේ දැනට පවතින අයහපත් වියළි කාලගුණ තත්වය හේතුවෙන්, දිස්ත්‍රික්ක විස්සක පුද්ගලයින් ලක්ෂ හයකට ආසන්න පිරිසක් පීඩාවට පත්ව ඇතිබව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එම තත්වය හමුවේ ආපදා කළමනාකරණ අමාත්‍යංශය සහ ඊට අනුබද්ධ ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන දිස්ත්‍රික් ඒකක, සහන ඒකක මෙන්ම දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු සියලු පාර්ශ්ව එක්ව ජලය බෙදා හැරීමේ වැඩ සටහනක් මේ වනවිට ක්‍රියාත්මකකර ඇති බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි ප්‍රකාශ කළේය.

ඔහු පෙන්වා දෙන්නේ, බවුසර් සහ ජල ටැංකි යොදා ගනිමින් අවශ්‍ය ස්ථානවලට ජලය සැපයෙන බවය.

'කාලගුණ වාර්තා අනුව වැස්ස ලැබීම තවත් ප්‍රමාද වෙන බවකුයි පෙනෙන්නේ. කෙසේ වෙතත් මේවන විට අවශ්‍ය පෙර සූදානම් වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා' ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පවසයි.

එසේම ඉදිරි කාලය තුළ නියං තත්වය තවත් දරුණු වුවහොත්, ඊට මුහුණ දීම සඳහා සූදානමින් සිටින ලෙස ප්‍රාදේශීය මධ්‍යස්ථානවලට දැනුම් දී ඇති බව ද ඔහු කියා සිටියේය.

නියඟයෙන් විනාශ වූ වගාවක්
ඡායාරූප ශීර්ෂ වැකිය, නියඟයෙන් විනාශ වූ වගාවක්

ජල හිඟයෙන් පෙළෙන ජනතාවට අවශ්‍ය සැපයුම් සඳහා රුපියල් දෙකෝටි දශලක්ෂයකට අධික මූල්‍ය ප්‍රතිපාදන අමාත්‍යාංශය මගින් වෙන් කරනු ලැබ ඇතැයි කී නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා, එමගින් දිස්ත්‍රික් ලේකම්වරුන්ට අවශ්‍ය තරම් මුදල් සැපයීමට අමාත්‍යංශය කටයුතු යොදා ඇති බව පෙන්වා දුනි.

දැනට ජල ප්‍රවාහනය සඳහා යොදා ගනිමින් ඇති බවුසර වලට අමතරව තවත් ඒවා කුලී පදනම මත ලබා ගැනීමේ සැලැස්මක් ඇතැයි ද ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි වැඩිදුරටත් සඳහන් කළේය.