ජනප්‍රිය පාසල්: 'වෛද්‍යවරුන්ට කුඩම්මාගේ සැලකිලි'

ජනප්‍රිය පාසල්වලට දරුවන් ඇතුළත් කිරීමේදී වෙනත් වෘත්තීය ක්ෂේත්‍ර ගණනාවක් සඳහා කෝටා ක්‍රමවේදයක් ක්‍රියාත්මක වුවත් වෛද්‍යවරුන් සම්බන්ධයෙන් පමණක් වෙනස් ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.
විශ්වවිද්‍යාල ආචාර්යවරු, විනිසුරන්, පරිපාලන සේවය සහ ආරක්ෂක සේවයේ නිරත වෘත්තිකයන් සඳහා ඔවුන්ගේ දරුවන් ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කළ හැකි කෝටාවක් ලබා දී ඇති බවයි රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය නලින්ද හේරත් කියා සිටියේ.
"වෛද්‍යවරුන්ට තමයි කුඩම්මාගේ සැලකිල්ලක් සිද්ධ වෙලා තිබෙන්නේ," ඔහු කියා සිටියේ වෛද්‍යවරුන්ගේ දරුවන් ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කිරීම සඳහා කෝටාවක් ලබා දෙන ලෙස සිය සංගමය කරන ඉල්ලීම පිළිබඳව බීබීසී සිංහල සේවය කළ විමසීමකදී.
"අපි ඒ අයට මැතිවරණ වලදී සහාය නොදක්වපු බවත් සහාය දක්වපු අයට ප්‍රමුඛත්වය ලබා දෙන බවත් ඒ පිළිබඳ අධ්‍යාපන ඇමතිවරයාගෙන් විමසූ අවස්ථාවේ කියවුනා. ඒක නොගැළපෙන ප්‍රකාශයක් හැටියට අපි දකිනවා."
'ඇමතිගෙන් පොරොන්දුවක්'

ඡායාරූප මූලාශ්‍රය, Getty/ ISHARA S.KODIKARA
කෙසේ වෙතත් සිය ඉල්ලීමට සතියක් ඇතුළත සාධාරණ විසඳුමක් ලබා දෙන බවට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පොරොන්දුවක් ලබා දී ඇති බැවින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ නොවන බවත් රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.
සිය දරුවන් ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කර ගැනීම සඳහා කෝටාවක් ලබා දෙන ලෙස රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් කරනු ලබන ඉල්ලීම ලංකා ගුරු සංගමය තරයේ හෙලා දකියි.
එවැනි කෝටාවක් ලබාදීමෙන් පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සමත් වන දරුවන්ට අසාධාරණයක් සිදු වන බවයි ලංකා ගුරු සංගමයේ සභාපති ජෝසප් ස්ටාලින් බීබීසී සංදේශයට කියා සිටියේ.
එහෙත් එම විරෝධය පිළිබඳව ප්‍රතිචාර දක්වන රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය පවසන්නේ, වෛද්‍යවරුන්ගේ ඉල්ලීමට විරෝධය පළ නොකොට තමන් සේවය කරන පාසලට සිය දරුවන් ඇතුළත් කර ගැනීමේ අයිතිය වෙනුවෙන් ගුරු සංගම් පෙළ ගැසිය යුතු බවයි.
'මුදලට පාසල්'

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
"මෙතෙක් කල් ලංකා ඉතිහාසයේ ඕනෑම ගුරුවරයකුට, ගුරුවරියකට හැකියාව තිබුණා තමන් සේවය කරන පාසලට තමන්ගේ දරුවා ඇතුළු කර ගන්න. නමුත් අද ඒ තත්වය අහිමි වෙලා තිබෙනවා. ඊට එරෙහිව සටන් කරලා ඔවුන් ඒ ඉල්ලීම දිනා ගත යුතුයි," වෛද්‍ය නලින්ද හේරත් පැවසීය.
ගුරු වෘත්තියට අදාළ අයිතීන් දිනා ගැනීම සඳහා හඬ නගනවා වෙනුවට ආණ්ඩුවට පක්ෂ ඇතැම් ගුරු සංගම් සිය ඉල්ලීම සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කිරීම හාස්‍යයට කරුණක් බවත් වෛද්‍ය නලින්ද හේරත් සඳහන් කළේය.
ජනප්‍රිය පාසල්වල පළමු වසරට දරුවන් ඇතුළත් කර ගැනීමේදී ඒ වටා ව්‍යාපාරයක් බිහි වී ඇති බවත් රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙයි.
කොළඹ ඉහළ පෙළ පිරිමි සහ කාන්තා පාසල් දෙකකට දරුවන් ඇතුළත් කර ගැනීමේදී මුදල් ලබා ගනිමින් ඒ සඳහා අවශ්‍ය ව්‍යාජ ලිපි ලේඛන සකස් කරන ජාලයක් ක්‍රියාත්මක වන බව තමන්ට දැන ගැනීමට ලැබී ඇති බවයි වෛද්‍ය නලින්ද හේරත් පවසන්නේ.











