ජනපති වෙබ් අඩවිය 'හැක්’ කළ සිසුවා පරිවාස භාරයට

ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවිය

ඡායාරූප මූලාශ්‍රය, President.gov.lk

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළු වූ බවට සැක පිට අත්අඩංගුවට ගනු ලැබූ දාහත් හැවිරිදි පාසල් සිසුවා පරිවාස භාරයේ තැබීමට අධිකරණය නියෝග කරයි.

කඩුගන්නාව ප්‍රදේශයේදී අත්අඩංගුවට පත් ඉහතේ කී බාල වයස්කාර සිසුවා සැප්තැම්බර් මස 02 වනදා දක්වා ළමා නිවාසයක රැඳවුම් භාරයේ තබන ලෙසයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ.

මේ අතර ඉහත කී පාසල් සිසුවාට ආධාර අනුබල දුන් බවට චෝදනා එල්ල වන විසි හය හැවිරිදි තරුණයකු ද අත්අඩංගුවට ගනු ලැබූ අතර සැප්තැම්බර් මස 02 වනදා දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කොට තිබේ.

සැකකරුවන් දෙදෙනා තවත් වෙබ් අඩවි 30 කට වැඩි සංඛ්‍යාවකට අනවසරයෙන් ඇතුළු වී ඇති බව පරීක්ෂණවලින් අනාවරණය වී ඇති බව රහස් පොලිසිය අධිකරණ හමුවේ කියා සිටියේය.

අදාළ සිදුවීම පිටුපස සිටින බංගලාදේශ ජාතිකයෙකු සම්බන්ධයෙන්ද පරීක්ෂණ පවත්වන බවත් පොලිසිය පවසයි.

විත්ති පාර්ශවයේ නීතිවේදීන් අධිකරණයට දන්වා ඇත්තේ පොදු ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමු කිරීම පිණිස සැකකරුවන් ඒක ක්‍රියාවේ නිරත වී ඇති බවයි.

විත්තිකරුවන් තුල කිසිදු අපරාධමය චේතනාවක් නොතිබූ බවත් විත්තියේ නීතිවේදියා කියා සිටියේය.

පරිගණක දත්ත සහ රහස්‍ය භාවය සම්බන්ධ නීති විධිවිධාන ප්‍රකාර අනුව ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවයි පොලිසිය මීට ඉහතදී සඳහන් කළේ.