පොලිසියට එරෙහිව පැමිණිලි දහසක්

ශ්‍රී ලංකා පොලිසියට එරෙහිව මේ වන විට පැමිණිලි දහසක් පමණ ලැබී ඇති බව ස්වාධීන පොලිස් කොමිසම පැවසීය.

පසුගිය ඔක්තෝම්බරයේ දී පටන් ලැබුණු මේ පැමිණිලි දහසෙන් මේ දක්වා විභාග කොට අවසන් කිරීමට හැකි වී ඇත්තේ පැමිණිලි 200ක් පමණි.

පොලිසියට එරෙහිව ලැබෙන පැමිණිලිවල ස්වභාවය තුන් වැදෑරුම් වන බවයි ස්වාධීන පොලිස් කොමිසමේ ලේකම් ආරියදාස කුරේ කියා සිටියේ.

'පළමු වෙනි කාරණය තමයි පොලිසිය ක්‍රියා නොකිරීම. දෙවැනි කාරණය තමයි පොලිසිය තම බලය අභිබවා ක්‍රියා කිරීම. තුන්වැන්න, පක්‍ෂපාතීව ක්‍රියා කිරීම.' ඔහු පැවසීය.

ඇතැම් පොලිස් නිලධාරීන්ගේ අනිසි ක්‍රියා වීඩියෝ ගත කර අන්තර්ජාලයේ සාමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පළ කර තිබියදීත් ඒ පිළිබඳව විමර්ශනය කොකරන්නේ මන්දැයි බීබීසීයේ තිසර රතුවිතාන ප්‍රශ්න කළ විට ඔහු කියා සිටියේ පැමිණිල්ලක් නොමැතිව විභාග කළ නොහැකි බවයි.

'පොලිස් නිලධාරියෙක් වරදක් කර තිබේ නම් ආයතන සංග්‍රහයේ විධි විධාන පරිදි විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා පැමිණිලි පාර්ශවයක් සිටීම අනිවාර්ය වෙනවා. ඒ අය ඇවිල්ල සාක්කි දිය යුතු වෙනවා.' පොලිස් කොමිසමේ ලේකම් ආරියදාස කුරේ කියා සිටියේ.

පොලිස් කොමිසමට පැවරී ඇති එකම රාජකාරිය මහජන පැමිණිලි විභාග කිරීම පමණක් නොවන බවයි ඔහු පවසන්නේ.

'19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ රාජකාරි රාශියක් පැවරිලා තියෙනවා. මහජන පැමිණිලි විමර්ශනය එක කාර්යයක් විතරයි. ඊට අමතරව පොලිස් නිලධාරීන් පත් කිරීම, උසස් කිරීම, මාරු කිරීම සහ විනය පාලනය පැවරිලා තියෙනවා. පොලිස් සේවය ස්වාධීන කිරීමත් කාර්යක්ෂම කිරීමත් මීට අමතරව පැවරී තිබෙනවා.' ලේකම්වරයා පැවසීය.