ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
තාජුදීන් ඝාතනය: උසස් පොලිස් නිළධාරීන් ගැන පරීක්ෂණයක්
රග්බි ක්‍රීඩක වසීම් තාජුදින්ගේ මරණයට අදාළ පරීක්ෂණ යටපත් කල උසස් පොලිස් නිලධාරින් පිලිබඳව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව නීතිපතිවරයා අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේය.
අදාළ පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී රජයේ නීතිවේදියා කියා සිටියේ මෙම කරුණට අදාලව මේ වන විට පොලිස් නිලධාරින් 20 කට වැඩි පිරිසකගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි.
මේ අතර වසීම් තාජුදින්ගේ මුල් පශ්චාත් මරණ පරීක්ෂණය නිසි පරිදි සිදු නොකළ බවට චෝදනා එල්ල වී තිබූ කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි ආනන්ද සමරසේකර ඇතුළු වෛද්‍ය මණ්ඩලයේ සාමාජිකයින්ට චෝදනා පත්‍ර භාරදී පරීක්ෂණයක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සභාව දන්වා සිටියේ.
මහේස්ත්‍රාත්වරයා එම සභාවට නියම කලේ අදාළ පරීක්ෂණ කටයුතු නොපමාව සිදුකිරීම සඳහා වසන් කර ඇති එහි වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.
මෙහිදී රිමාන්ඩ් භාරයේ පසුවන පොලිස් පරීක්ෂක සුමිත් පෙරේරාට ඇප නියම කරන මෙන් ඔහුගේ නීතිවේදියා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
එම ඉල්ලීමට විරෝධය පළ කල රජයේ නීතිවේදියා මෙම සිද්ධියට සම්බන්ධ උසස් පොලිස් නිලධාරින් පිළිබඳව පරීක්ෂණයක් සිදුකෙරෙන බැවින් අදාළ ඇප ඉල්ලීමට විරෝධය පළකරන බවයි.
ඒ අනුව ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ මෙම අවස්ථාවේ ඇප නිම කළහොත් ඉදිරි පරීක්ෂණවලට බාධා සිදුවිය හැකි බවයි.
ඒ අනුව සැකකරු ලබන 26 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට අධිකරණය නියම කළේය.