කුසල් ජනිත්ට ක්‍රිකට් තහනමක් - අයිසීසී

විනය පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙන තුරු කුසල් ජනිත් පෙරේරා තාවකාලික තරඟ තහනමක් පනවනවා - අයිසීසී ය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, විනය පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙන තුරු කුසල් ජනිත් පෙරේරා තාවකාලික තරඟ තහනමක් පනවනවා - අයිසීසී ය
    • Author, සරෝජ් පතිරණ
    • Role, බීබීසී සිංහල

තහනම් උත්තේජක පිළිබඳ ජගත් පාලක මණ්ඩලයේ නීති විධිවිධාන උල්ලංඝනය කිරීමේ චෝදනාව මත ශ්‍රී ලංකා කණ්ඩායමේ කුසල් ජනිත් පෙරේරාට එරෙහිව පරීක්ෂණයක් පවත්වන බව ජගත් පාලක මණ්ඩලය සනාථ කළේය.

ඒ අනුව එම විනය පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙන තුරු ඔහුට තාවකාලික තරඟ තහනමක් පනවනු ලබන බව අයිසීසී ජගත් පාලක මණ්ඩලයේ ප්‍රකාශකයෙක් බීබීසී සංදේශයට පැවසීය.

අදාළ විනය පරීක්ෂණයෙන් නිගමනයකට එළඹෙන තුරු ජගත් පාලක මණ්ඩලය ඒ සම්බන්ධයෙන් වෙනත් කිසිවක් පැවසීමෙන් වැලකී සිටින බවද ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානය සමඟ පැවති තරඟාවලිය අවස්ථාවේ ජගත් පාලක මණ්ඩලය විසින් කුසල් ජනිත් පෙරේරා ගෙන් ලබාගන්නා ලද සාම්පලවල තහනම් උත්තේජක තිබූ බව හෙළි වී ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ.

'ඉස්සෙල්ල බී සාම්පල් එක චෙක් කරන්න කියනවා. ඊට පස්සේ අපේ ලෝයර්ස්ල එක්ක කතා කරලා බලන ඕන මොකද්ද කරන්නේ කියල'

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, 'ඉස්සෙල්ල බී සාම්පල් එක චෙක් කරන්න කියනවා. ඊට පස්සේ අපේ ලෝයර්ස්ල එක්ක කතා කරලා බලන ඕන මොකද්ද කරන්නේ කියල'

එබැවින් දැනට කණ්ඩායම සමඟ නවසීලන්තයේ සංචාරයක යෙදී සිටින ඔහු වහාම යළි සියරට කැඳවන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන්. කණ්ඩායමේ නවසීලන්ත සංචාරය සඳහා කෞෂල් සිල්වා පිටත් කර යැවීමට නියමිතයි.

සිය ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව බීබීසී සංදේශයට අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් අන්තර්වාර කමිටුවේ සභාපති සිදත් වෙත්තමුණි:"ඉස්සෙල්ල බී සාම්පල් එක චෙක් කරන්න කියනවා. ඊට පස්සේ අපේ ලෝයර්ස්ල එක්ක කතා කරලා බලන ඕන මොකද්ද කරන්නේ කියල," පැවසීය.

අයිසීසී විධිවිධාන ප්‍රකාර බී සාම්පලය පරීක්ෂා කර, හැකි ඉක්මනින් ඔහුට යළි ක්‍රීඩා කිරීමට අවස්ථාව සැලසීම සිය අභිප්‍රාය බවයි පාලක මණ්ඩලය පවසන්නේ.

කිසියම් ලෙසකින් දෙවැනි සාම්පලයේද තහනම් උත්තේජක අඩංගු බව සනාථ වුවහොත් ඔහුට ලබන වසරේ බංග්ලාදේශයේ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලානයට සහභාගි වීමේ අවස්ථාව අහිමි වන අතර, එසේ වුවහොත් එය ශ්‍රී ලංකා කණ්ඩායමට බරපතල පාඩුවක්.

'ක්‍රිකට් ක්‍රීඩාවේ මත්ද්‍රව්‍ය භාවිතය එච්චරම ප්‍රචලිත වෙලා නැහැ'

ඡායාරූප මූලාශ්‍රය, Istock

ඡායාරූප ශීර්ෂ වැකිය, 'ක්‍රිකට් ක්‍රීඩාවේ මත්ද්‍රව්‍ය භාවිතය එච්චරම ප්‍රචලිත වෙලා නැහැ'

තහනම් උත්තේජක තිබෙන බව බී සාම්පලයෙන්ද සනාථ වීම සාමාන්‍ය තත්වය බවයි ඒ පිළිබඳව විග්‍රහයක යෙදෙන ඩේලිමිරර් පුවත්පතේ ක්‍රීඩා කර්තෘ චන්නක ද සිල්වා සංදේශයට කියා සිටියේ.

"ඒ දෙක වෙනස් වෙන්නේ ඉතාම කලාතුරකින්. අපි අහලම නෑ එහෙම වෙනස් වෙනවා කියල," ඔහු පැවසීය.

මීට ඉහතදී උපුල් තරංග වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ඩිලාන ෆිලිප්ස් උපුටා දක්වමින් ඉදිරි පියවර පහදන චන්නක ද සිල්වා පවසන්නේ, එසේ තහවුරු වුවහොත් ඉන් අනතුරුව අයිසීසී ය විසින් ඔහු වැරදිකරුද, නිවැරදිකරු දැයි විමසනු ඇති බවයි.

කිසියම් ලෙසකින් ඔහු වැරදිකරු වුවහොත් ඔහුට වසර හතරක් දක්වා වූ ක්‍රිකට් තහනමක් පැනවීමට ඉඩ තිබේ.

උපුල් තරංග ද මීට ඉහතදී තහනම් උත්තේජක භාවිත කිරීම හේතුවෙන් තරඟ තහනමකට ලක්විය
ඡායාරූප ශීර්ෂ වැකිය, උපුල් තරංග ද මීට ඉහතදී තහනම් උත්තේජක භාවිත කිරීම හේතුවෙන් තරඟ තහනමකට ලක්විය

එසේ වුවත්, මෙය එවැනි වරදක් කෙරුණු පළමු අවස්තාව බැවින් සහ නොදැනුවත්ව ගත් ඖෂධයක් එයට හේතුව බව සනාථ කළහොත් ඒ දඬුවම ලිහිල්වීම්ට ඉඩ තිබෙන බවත් ඔහු පැවසීය.

"මොකද ක්‍රිකට් ක්‍රීඩාවේ මත්ද්‍රව්‍ය භාවිතය එච්චරම ප්‍රචලිත වෙලා නැහැ."

මීට ඉහතදී ශ්‍රී ලංකා කණ්ඩායමේ උපුල් තරංග ද තහනම් උත්තේජක භාවිතා කිරීම හේතුවෙන් මාස තුනක තරඟ තහනමකට ලක්විය.