බංගලාදේශ ක්‍රීඩක ෂකීබ්ට තරඟ තහනමක්

දැවීයාමක් ලබා ගැනීමට විනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කරන ෂකීබ් අල් හසන්

ඡායාරූප මූලාශ්‍රය, Getty

ඡායාරූප ශීර්ෂ වැකිය, දැවීයාමක් ලබා ගැනීමට විනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කරන ෂකීබ් අල් හසන්

බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ෂකීබ් අල් හසන්ට මාස හයක තාවකාලික තරඟ තහනමක් පනවා තිබේ.

ෂකීබ් අල් හසන් තුළ ඇති හැසිරීම හා ආකල්ප පිළිබඳ ගැට‍ළු සලකා බලා මෙම තීරණය ගත් බවයි බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධානියා පවසන්නේ.

"බංගලාදේශ ක්‍රිකට් ඉතිහාසය තුළ මෙවැනි දෙයක් මීට පෙර දැකලා නැහැ. අපි හිතනවා ඔහුගේ හැසිරීම කණ්ඩායමට සෘජුවම බලපෑමක් ඇති කරනවා," යනුවෙන් බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩල සභාපති නස්මුල් හසන් පවසයි.

පාලක මණ්ඩලයේ ඒකමතික තීරණය අනුව විසි හත් හැවිරිදි තුන් ඉරියව් ක්‍රීඩක ෂකීබ් අල් හසන්ට ඉදිරි මාස හය තුළ සියලු ආකාරයේ ක්‍රිකට් තරඟ වලට සහභාගි වීම තහනම්.

තර්ජනයක්

කැරිබියන් ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට සහභාගී වීමට අපේක්ෂාවෙන් සිටි අල් හසන් නැවතත් ඩකා නුවරට කැඳවීමත් සමග ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත් වන බවට ඔහු විසින් කරන ලද තර්ජනයක් මෙම තරඟ තහනමට මූලික වශයෙන් බලපා ඇති බව වාර්තා වෙයි.

තුන් ඉරියව් ක්‍රීඩක ෂකීබ් අල් හසන්

ඡායාරූප මූලාශ්‍රය, Getty

ඡායාරූප ශීර්ෂ වැකිය, තුන් ඉරියව් ක්‍රීඩක ෂකීබ් අල් හසන්

ෂකීබ් කැරිබියන් ප්‍රීමියර් ලීගයට ක්‍රීඩා කිරීමට ගියේ පාලක මණ්ඩලයේ අනුමැතියකින් තොරව බව, ක්‍රිකට් පාලක මණ්ඩල සභාපති නස්මුල් හසන් කියා සිටියේය.

බංගලාදේශ ක්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහ ඉදිරියේ ඔහු විනය විරෝධී ආකාරයෙන් හැසිරී ඇති බවත් පාලක මණ්ඩලයේ ප්‍රධානියා වැඩිදුරටත් පැවසුවේය.

සමාව

පුහුණුකරු ඉදිරියේ හැසිරුණු ආකාරය පිළිබඳ ෂකීබ් අල් හසන් මේ වන විට තමාගෙන් සමාව ගෙන ඇති බව පවසන බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩල සභාපති නස්මුල් හසන්, ෂකීබ්ට විනය විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් ඉතිහාසයක් ඇති බවද සඳහන් කළේය.

"අපිට අවශ්‍යයි පැහැදිලි පණිවිඩයක් ලබා දෙන්න. එය නැවත සිදු වුනොත් ජීවිත කාලයටම ක්‍රිකට් තහනම් වේවි. විනය පිළිබඳ ගැටලුවලදී සම්මුතියක් නැහැ," යනුවෙන්ද බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධානියා වැඩි දුරටත් පැවසුවේය.

කෙසේ වෙතත් ඩකා නුවරට පැමිණි ෂකීබ් අල් හසන් තමා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත් වන බවට තර්ජනය කළා යයි නැගෙන චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.

තවත් වසර දහයක් තමාට ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදීමට අවශ්‍ය බවයි, ඔහු පවසන්නේ.