ශ්‍රී ලංකා කණ්ඩායමට අන්ත පරාජයක්

ශ්‍රී ලංකා කණ්ඩායම කඩුල්ලේ රැඳී සිටියේ ඕවර විසි හතරක් පමණයි
ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකා කණ්ඩායම කඩුල්ලේ රැඳී සිටියේ ඕවර විසි හතරක් පමණයි

බ්‍රිතාන්‍යයේ ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගණයේ එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වුණු තුන් වැනි එක දින සීමිත ඕවර තරඟයේදී ශ්‍රී ලංකාවට කඩුලු දහයක <link type="page"><caption> අන්ත පරාජයක්</caption><url href="http://www.bbc.co.uk/sport/0/cricket/27591839" platform="highweb"/></link> අත්විය.

මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම රැස් කර ගැනීමට සමත්වූයේ ලකුණු 67 ක්. කණ්ඩායම කඩුල්ලේ රැඳී සිටියේ ඕවර විසි හතරක් පමණයි.

මෙය ශ්‍රී ලංකා කණ්ඩායමට සිය එක් දින ඕවර ඉතිහාසයේ හිමිවුණු තුන්වැනි බරපතලම පරාජයයි.

පසුගිය ඉරිදා පැවැත්වුණු තරඟයේදී ලකුණු 157 ක දැවැන්ත ජයග්‍රහණයක් අත් කරගත් ශ්‍රී ලංකා කණ්ඩායමට ඉන් දින කිහිපයකට පසුව මෙවැනි පරාජයකට මුහුණදීම පිළිබඳව ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගණයේ සිට සංදේශය සමඟ අදහස් දැක්වූ ක්‍රීඩා විස්තර විචාරක කල්ප පල්ලියගුරු කියා සිටියේ, එංගලන්තයේ මේ දිනවල පවතින වැසිබර සීතල කාළගුණය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවට පහර දීමේදී ප්‍රබල බාධකයක් වූ බවයි.

ආබාධයක් හේතුවෙන් දෙවැනි තරඟයට එක්වීමට අවස්ථාව නොලැබුණු නායක ඇලිස්ටර් කුක් මෙම තරඟයට සහභාගිවීමත් ශ්‍රී ලංකා කණ්ඩායමට අභියෝගයක් වූ බව ඔහුගේ විග්‍රහයයි.

මෙම ජයග්‍රහණයත් සමඟම එංගලන්ත කණ්ඩායම තරඟ 2-1 ක් වශයෙන් තරඟාවලියේ ඉදිරියෙන් සිටියි.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය ලබන සෙනසුරාදා තරඟාවලියේ සිවුවැනි තරඟයට මුහුණ දීමට නියමිතයි.