එංගලන්තය, ඉන්දියාව, ඔස්ට්‍රේලියාව: ක්‍රිකට් බල කාරයෝ

ඡායාරූප මූලාශ්‍රය, AFP
අයිසීසී ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය (ICC) විසින් සෙනසුරාදා අනුමත කරන ලද සංශෝධනවලට අනුව, ක්‍රිකට් ක්‍රීඩාවේ පරිපාලනය සම්බන්ධයෙන් තීරණ ගැනීමේ දී එංගලන්තය, ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාවට වැඩි බලතල හිමි වී තිබේ.
මේ මගින් ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ පරිපාලනමය කටයුතු, තරඟ පැවැත්වීම් හා මුල්‍යමය කටයුතු පිලිබඳ අධිකාරිත්වය මෙම රටවල් තුනට හිමි කර දී ඇත.
අයර්ලන්තය හා ස්කොට්ලන්තය ඇතුලු තවත් රටවල් කිහිපයකට ටෙස්ට් ක්‍රිකට් සඳහා තරඟ කිරීමේ අවස්ථාවද හිමි වනු ඇති බවයි, සිංගප්පූරුවේ පැවැත්වුණු විධායක කමිටු රැස්වීම සම්බන්ධයෙන් ජගත් පාලක මණ්ඩලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
නව සංශෝධනවලට අනුව 2017 දී පළමුවරට පැවැත්වීමට නියමිතව තිබුණු ලෝක ටෙස්ට් ශුරතාවය වෙනුවට "ශූරතා කුසලාන" තරඟාවලිය යලිත් ආරම්භ කිරීමට නියමිතයි.

ඡායාරූප මූලාශ්‍රය, AFP
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති නාරයනස්වාමි සිරිනිවාසන්, මේ වසරේ ජුලි මාසයේ සිට වසර දෙකක කාලයක් සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ සභාපති ලෙස කටයුතු කිරීමට පත් කෙරේ.
ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලයේ මහා සභාව මෙම සංශෝධන නිළ වශයෙන් අනුමත කළ යුතු වන අතර, එංගලන්තය හා වේල්සයේ ක්‍රිකට් පාලක මණ්ඩලය (ECB), ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් පාලක මණ්ඩලය (CA) සහ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) යන ආයතන ද ඇතුළත් පස් දෙනෙකුගෙන් සමන්විත විධායක කමිටුවක් ද පත්කර ගැනීමට නියමිතය.
ඉහත කී සංශෝධන අනුමත වීම හේතුවෙන් දැනට එකඟ වී තිබෙන ජාත්‍යන්තර ක්‍රිකට් සංචාර අහෝසි වනු ඇතැයි බිය පළ වෙමින් පවතී.
අදාළ සංශෝධන වෙනුවෙන් සාමාජික රටවල් අටක කැමැත්ත පළ වූ අතර පකිස්ථානය හා ශ්‍රී ලංකාව ඡන්දය දීමෙන් වැලකී සිටියහ.








