පාකිස්තාන ක්‍රිකට් සංචාරය: ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට 'ත්‍රස්ත තර්ජනයක්' ගැන අනතුරු ඇඟවීමක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයේ සංචාරයේ යෙදුන හොත් එහිදී ඔවුන්ට "ත්‍රස්ත තර්ජනයක්" එල්ලවිය හැකි බවට විශ්වාසදායක තොරතුරු අග්‍රාමාත්‍ය කාර්යාලයට ලැබී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
එබැවින් සංචාරයේ යෙදීමට පෙර අතිශය ප්‍රවේසම්කාරීවන ලෙසත් තත්ත්වය ගැන නැවත සොයා බලන ලෙසත් තමන්ට උපදෙස් ලැබී තිබෙන බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත්කළ නිවේදනයක දැක්වේ.
මේ තත්වය යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානය බලා පිටත් වීමට පෙර පාකිස්තානයේ ආරක්ෂක තත්ත්වය පිළිබඳව නැවත තක්සේරු කිරීම පිණිස ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීහු බදාදා (සැප්තැම්බර් 11) ශ්‍රී ලංකා රජයේ සහාය පැතූහ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ, ක්‍රීඩා අමාත්‍යාංශය හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් ලැබුණු අනතුරු ඇඟවීමකින් අනතුරුව එම තීරණයට එළඹුණු බවය.
මේ අතර, ඉන්දියාවේ බලපෑම මත ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයන් තරග සංචාරයට එක් නොවන බවට පාකිස්තානයේ අමාත්‍යවරයෙක් නගන චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි.
පකිස්තානයේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ෆවාඩ් හුසේන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා තිබුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් පාකිස්තානයේ සංචාරය කළහොත් ඉන්දීය ප්‍රිමියර් ලීගය සඳහා සහභාගී කර නොගන්නා බවට ඉන්දියාව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට තර්ජනය කර තිබෙන බව ක්‍රීඩා විචාරකයන් තමන්ට පැවසූ බවය.
එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු සඳහන් කළේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පිරිසක් පාකිස්තානයේ සංචාරය නොකිරීමට හේතුව 2009 වසරේ එල්ලවූ ප්‍රහාරය මිස වෙනත් කාරණයක් නොවන බවකි.
"අපි ක්‍රීඩකයන්ට අවස්ථාව දුන්නා තීරණයක් ගන්න. මොකද ඇතැම් අයගේ පවුල්වල අය කැමති වුනේ නැහැ ඔවුන් මේ සංචාරයේ යනවට. අපි ඔවුන්ගේ තීරණයට ගරු කරනවා. ඒ ගැන විවේචන එල්ල කිරීම අසාධාරණයි" අමාත්‍යවරයා කියා සිටියේය.
පාකිස්තානයේ තරග කිරීමට කැමති දක්ෂ ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායමක් ශ්‍රී ලංකාව නම් කරන බව පැවසූ අමාත්‍යවරයා පාකිස්තානය ඔවුන්ගේ රටේදීම පරාජය කිරීමට මෙම ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි බව තම විශ්වාසය බව ද කියා සිටියේය.
ඉන්දීය ප්‍රිමියර් ලීගය යොදාගෙන ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පාකිස්තානයට නොයන ලෙස ඉන්දියාව බලපෑම් කරන බවට චෝදනා කළත්, පාකිස්තානයට සංචාරය කිරීමට අකමැත්ත පළකළ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දසදෙනා අතරින් පසුගිය වසර කිහිපයේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරග සඳහා සහභාගී වුයේ ලසිත් මාලිංග පමණි.
දිමුත් කරුණාරත්න, ඇන්ජෙලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, කුසල් පෙරේරා, සුරංග ලක්මාල්, දිනේෂ් චන්දිමාල්, අකිල ධනංජය, නිරෝෂන් දික්වැල්ල හා තිසර පෙරේරා පාකිස්තානයේ සංචාරය කිරිම ප්‍රතික්ෂේප කළ සෙසු ක්‍රීඩකයෝ වෙති.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මේ අතර පාකිස්තානයේ දෙවරක් සංචාරයේ යෙදුනු තිසර පෙරේරා මෙවර පාකිස්තානයේ සංචාරය කිරීම ප්‍රතික්ෂේප කිරීම ගැනද දෙස් විදෙස් ක්‍රීඩා ලෝලීන්ගේ අවධානය යොමුවී තිබේ. මේ වන විට බටහිර ඉන්දීය කොදෙව් දුපත් හි විස්සයි විස්ස තරගාවලියක් ක්‍රීඩා කරමින් සිටින තිසර පෙරේරා එම තරගාවලියේ දිගටම ක්‍රීඩා කිරීම සඳහා මෙලෙස පාකිස්තානය බලා යාම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තාවේ. පසුගිය වසර කිහිපයේදී වරක් ලෝක කණ්ඩායම සමග හා තවත් වරක් ශ්‍රී ලංකා කණ්ඩායම සමග තිසර පෙරේරා පාකිස්තානයේ සංචාරය කර තිබේ.
තිසර පෙරේරා පාකිස්තානයේ සංචාරය කිරීම ප්‍රතික්ෂේප කිරීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බටහිර ඉන්දීය කොදෙව් විස්සයි විස්ස තරගාවලියේ ක්‍රීඩා කිරීමට තිසර පෙරේරාට දී තිබු අවසරය ලබන 15 වැනිදා සිට ඉවත් කර තිබේ. එම තරගාවලියේම ක්‍රීඩා කිරීමට නිරෝෂන් දික්වැල්ල කළ ඉල්ලීම ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රතික්ෂේප කර ඇත.
ජාතික කණ්ඩායමේ තරගාවලියක් ක්‍රීඩා නොකර එයින් ඉවත්ව වෙනත් තරග සඳහා ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට අවසර නොදීමේ ප්‍රතිපත්තිය මත එම තීරණය ගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකයකු බීබීසි සිංහල සේවයට පැවසුවේය.
පාකිස්තාන සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ලබන 25 වැනිදා එරට බලා පිටත්ව යාමට නියමිත අතර එම තරගාවලියේ එක්දින තරග සඳහා ලහිරු තිරිමාන්න ද සහ විස්සයි විස්ස තරග සඳහා දසුන් ශානක ද නායකයන් ලෙස පත් කර සිටිති.











