තිසර පෙරේරා ලහෝර් ගඩාෆි ක්‍රීඩාංගණයට

ඡායාරූප මූලාශ්‍රය, TWITTER/ PCB
ලබන මාසයේ පාකිස්තානයේ සංචාරයක යෙදෙන ලෝක ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලංකා කණ්ඩායමේ තිසර පෙරේරා ද ඇතුළත් වන බව පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි.
2009 දී ලහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණය අසලදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ප්‍රහාරයක් එල්ල වීමෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම් පාකිස්තානයේ සංචාරය කිරීමෙන් වැලකී සිටියේය.
එහි ප්‍රතිඵලයක් ලෙසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු වෙනත් රටවලදී සිය ජාත්‍යන්තර තරග පැවැත්වීමට පාකිස්තානයට සිදුවිය.
එවක් පටන් මෙතෙක් පාකිස්තානයේ සංචාරය කර තිබෙන්නේ සිම්බාබ්වේ කණ්ඩායම පමණි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
2015 දී සිම්බාබ්වේ කණ්ඩායමේ එම සංචාරය අවස්ථාවේ ලහෝර් ක්‍රීඩාංගණය අවට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල විය.
ඒ අනුව නිදහස් කුසලානය වෙනුවෙන් ලෝක කණ්ඩායමේ (World XI) සමග පාකිස්තාන කණ්ඩායම තරග වදින අවස්ථාව, ලාහෝර් ප්‍රහාරයෙන් පසුව පාකිස්තානයේ යළිත් ප්‍රධාන පෙළේ ක්‍රිකට් තරග පැවැත්වෙන පළමු අවස්ථාවය.
සැප්තැම්බර් 12,13 සහ 15 දිනවල ලාහෝර් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන විස්සයි විස්ස තරග තුනකින් සමන්විත තරගාවලියේදී World XI කණ්ඩායමට නායකත්වය දෙනු ලබන්නේ දකුණු අප්‍රිකාවේ Faf du Plessis විසිනි.
තිසර පෙරේරා එම කණ්ඩායම නියෝජනය කරන එකම ශ්‍රී ලංකා ක්‍රීඩකයාය.
සබැඳි යොමු:
World XI කණ්ඩායමට එක්වන මෙන් කරන ලද ඉල්ලීමක් කුමාර් සංගක්කාර ප්‍රතික්ෂේප කර තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
එම තරගාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම ද ලහෝර් ක්‍රීඩාංගණයේදී එක් විස්සයි විස්ස තරගයකට සහභාගි වීමට නියමිතය.
වර්තමානයේ පාකිස්තානයේ ආරක්ෂක වාතාවරණය යහපත්ය යන්න සිය ආරක්ෂක උපදේශකයන් ගේ නිගමනය බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල පසුගියදා සදහන් කළේය.
එහෙත් එදා ප්‍රහාරයේදී හටගත් මානසික තැති ගැනීම කිසි දිනෙක පහව නොයනු ඇතැයි ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ තිලාන් සමරවීර බීබීසී යට පැවසීය.
කිසියම් ක්‍රීඩකයෙකු පාකිස්තානයේ සංචාරය කිරීමට අකැමැත්ත පළ කරන්නේ නම් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් ඒ පිළිබඳව ඔහුට දඬුවම් නොකළ යුතුය යන්න ඔහුගේ අදහසය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
2009 දී ක්‍රීඩකයන්ගේ අකැමැත්ත නොතකා ශ්‍රී ලංකා කණ්ඩායම එම සංචාරයේ නිරත කර වූ බවට කුමාර් සංගක්කාර පසුගියදා අර්ජුන රණතුංග අමාත්‍යවරයාට චෝදනා කළ අතර, 2011 ලෝක කුසලානයේ අවසාන මහා තරගයේදී සිදුවූයේ කුමක්දැයි පූර්ණ පරීක්ෂණයක් පැවැත්විය යුතු බව එයට ප්‍රතිචාර දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේය.








