ලාහෝර් ප්‍රහාරය සහ ක්‍රිකට්: "හැමෝම හිතුවේ මම මැරෙයි කියලා"

ලාහෝර් ප්‍රහාරය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

සිය මංගල ටෙස්ට් තරගාවලිය සඳහා 2009 වසරේ දී පාකිස්තානයට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවකු ලෙස කටයුතු කළ තරංග පරණවිතානට අවසානයේ ශ්‍රී ලංකාවට පැමිණීමට සිදුවුයේ වෙඩි වැදුණු ක්‍රීඩකයෙක් ලෙසය.

ඒ මාර්තු 3 වැනිදා ශ්‍රී ලංකා පාකිස්තාන දෙවෙනි ටෙස්ට් තරගයේ තෙවෙනි දිනයට ලාහෝර් ක්‍රීඩාංගනයට යමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙනි.

එම ප්‍රහාරයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ආරක්ෂාව ලබාදෙමින් ගමන් කළ පොලිස් නිලධාරීන් 6 දෙනකු මිය ගිය අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් 6 දෙනෙකු තුවාල ලැබීය.

ඒ ප්‍රහාරයෙන් තිලාන් සමරවීරට හා තරංග පරණවිතානට බරපතළ තුවාල සිදුවිය.

වීඩියෝ ශීර්ෂ වැකිය, ලාහෝර් ප්‍රහාරය: ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ අත්දැකීම

"බුලට් එකක් වැදුනා පපුවට. වැදුන ගමන් මම පිට අල්ලලා බැලුවා පිටවුනාද කියලා, පපුවේ හැමතැනම ලේ ගලනවා" යනුවෙන් තරංග පරණවිතාන තමන්ට එදා එල්ලවූ වෙඩි ප්‍රහාරය ගැන වසර 8කට පසු ආවර්ජනය කරමින් බීබීසි සිංහල සේවයට සිය අත්දැකීම විස්තර කළේය.

"හැමෝම හිතුවේ මම මැරෙයි කියලා, ලේ දැකල. වාසනාවකට උණ්ඩය පිටින් ගිහිල්ල තිබුණේ නැහැ"

"එතකොටම වාස් අඅයියයි, ඩිල්ෂාන් අයියයි කෑ ගැහුව බස් රියදුරුට. go, go (යන්න, යන්න ) කියලා. බස් එක ගියා. තව ටික වෙලාවක් හිටියනම් කවුරුත් ඉතුරු වෙන එකක් නැහැ"

"ඒක චිත්‍රපටයක් වගේ, අපේ දැක්කේ වටෙන්වෙඩි තියනවා, බෝම්බ පුපුරනවා, ටික වෙලාවක් ගිහිල්ල උණ්ඩ ඇතුළට එනකොට තමයි තේරුණේ මේක අපිට එල්ල කරන්නේ කියලා" තරංග පරණවිතාන තමන් ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මුහුණදුන් ත්‍රස්යජනක අත්දැකීම හෙළි කළේ එලෙසය.

මෙම ප්‍රහාරය සහ එහි කම්පනය තම ජිවිත කාලයටම අමතක නොවනු ඇති බව තරංග පරණවිතාන පැවසීය.

වසර 8 පසු

ප්‍රහාරයෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම සුරක්ෂිතව රැගෙන යාමට ක්‍රීඩාංගනයට පැමිණි හමුදා හෙලිකොප්ටරය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රහාරයෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම සුරක්ෂිතව රැගෙන යාමට ගඩාෆි ක්‍රීඩාංගනයට පැමිණි හමුදා හෙලිකොප්ටරය

ලාහෝර් ප්‍රහාරයෙන් වසර 8කට පසු ශ්‍රී ලංකා කණ්ඩායමක් පාකිස්තානයට පය තබන්නේ ලබන 29 වෙනිදාය.

ඒ ශ්‍රී ලංකා පාකිස්තාන 3 වෙනි විස්සයි විස්ස තරගය සඳහාය.

ශ්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කිහිප දෙනෙකු එම සංචාරය සඳහා සහභාගී වීම ප්‍රතික්ෂේප කළ නිසා නවක ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් පාකිස්තානය බලා පිටත්ව යාමට නියමිතය.

ප්‍රහාරයට ලක් වූ ක්‍රීඩකයකු ලෙස නැවත පාකිස්තානය බලා සංචාරය කිරීමට සුදානම් දැයි විමසීමේදී තරංග පරණවිතාන කියා සිටියේ "ඒකට එකපාරම මට උත්තරයක් දෙන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ " යනුවෙනි.

ශ්‍රී ලංකාවට උදව් කළ රටක් ලෙස ආරක්ෂාව ගැන සම්පුර්ණ සහතිකයක් ලැබුනහොත් පාකිස්තානයේ ක්‍රීඩා කළ යුතු බවට හැඟීමක් තමන් සතුව ඇති බව ද ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ පළමු පෙළ ක්‍රිකට්

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ගමන් ගත් බස් රථයට වෙඩි වැදී තිබු අයුරු

ඡායාරූප මූලාශ්‍රය, ARIF ALI

ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ගමන් ගත් බස් රථයට වෙඩි වැදී තිබු අයුරු

ශ්‍රී ලංකාවේ පළමු පෙළ තරග තවමත් ක්‍රීඩා කරන ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයකු වන තරංග පරණවිතාන, පසුගිය පළමු පෙළ තරග වාර කිහිපයේම ඉදිරියෙන්ම ලකුණු අතර සිටියත් ඔහුට 2012 වසරේ සිට ශ්‍රී ලංකා කණ්ඩායම තුළ අවස්ථාවක් නොලැබුණි.

"මම දැනට අවුරුදු දෙක තුනක්ම හොඳම පිතිකරු වුණා, එත් අවස්ථාවක් හිමිවුණේ නැහැ"

දේශීය පළමු පෙළ තරගාවලිය ශක්තිමත් නොවීම එහි දක්වන දක්ෂතා සැලකිල්ලට නොගැනීමට හේතුවක් වී තිබෙනවා නේදැයි පෙන්වාදුන් විට ඔහු පැවසුවේ එය අසාධාරණ ප්‍රකාශයක් බවය.

"එහෙනම් අපිට වෙන තරගාවලියක් දෙන්න ඕන, මේක තමයි ලංකාවේ ඉන්න ක්‍රීඩකයකුට තියෙන අවස්ථාව, ඉතින් එකෙන් ලකුණු අරන් ඉදිරියෙන්ම ඉන්නවනම්, වෙන කොහෙද පෙන්වන්නේ මම හොඳයි කියලා"

පළමු පෙළ ක්‍රිකට් තරගවල දක්ෂතා දක්වන ක්‍රීඩකයන්ට අවස්ථාව නොදී ඇතැම් ක්‍රීඩකයන්ට පමණක් සහජ දක්ෂතා ඇති බව පවසමින් ඔවුන්ට අවස්ථාව දීම අසාධාරණ බව තරංග පරණවිතාන පවසයි.

මෙවන් ගැටලු සහ වැටුප් අර්බුද හේතුවෙන් ක්‍රීඩකයන් විදේශ ගතව ක්‍රීඩා කිරීමට පෙලඹෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

සබැඳි යොමු: