ලාහෝර් සංචාරය: ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් පාලක මණ්ඩලයට ලිපියක්

ඡායාරූප මූලාශ්‍රය, AFP
මේ මස 29 වෙනි දින ලාහෝර් නුවර පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරගයට සහභාගි වීම පිණිස පාකිස්තානයේ සංචාරය කිරීම පිළිබඳව යළි සලකා බලන මෙන් ඉල්ලා සිටිමින් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් පිරිසක් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිපියක් යොමු කරනු ලැබ තිබේ.
එවැනි ලිපියක් ලැබුන බව බීබීසී සිංහල සේවය කළ විමසීමකදී සනාථ කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල, ආයතනයේ විධායක කමිටුව සඳුදා (ඔක්තෝබර් 16) රැස් වී ඒ සම්බන්ධ අවසාන තීරණයකට එළඹෙන බවත් කියා සිටියේය.
කෙසේ නමුත් කණ්ඩායම පාකිස්තාන සංචාරයේ නිරත වන්නේ නම් ඒ සඳහා තරග විනිසුරන් හා තීරකයන් යොදවන බව අයිසීසී ජගත් පාලක මණ්ඩලය දැනටමත් දැනුම් දී තිබෙන බව ද ඔහු සඳහන් කළේය.
"අයිසීසී ඒකෙන් සංවිධානය කරලා T20 තරග තුනක් ගැහුවා World II කණ්ඩායමත් එක්ක. ඒකෙදි ආරක්ෂක කටයුතු පිළිබඳව 100% ක් ඒගොල්ල සෑහීමකට පත්වෙනවා."

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයේ සංචාරය කිරීම පිළිබඳව ක්‍රිකට් ආයතනය ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ බව පැවසූ සභාපතිවරයා, ඒ අතරම ආරක්ෂාව ක්‍රීඩකයන් මතු කරන කරුණු ද සලකා බලා අවසාන තීරණයට එළඹෙන බවත් සඳහන් කළේය.
දැනට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පාකිස්තානයට එරෙහිව තරග වැදී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම, ලහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගනයේ දී අවසාන විස්සයි විස්ස තරගයකට සහභාගි වීමට නියමිතය.
2009 මාර්තු 03 වෙනි දින ශ්‍රී ලංකා කණ්ඩායම ලහෝර් නුවරදී ත්‍රස්ත ප්‍රහාරයකට ගොදුරු වීමෙන් අනතුරුව, සියලුම ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම් පාකිස්තානයේ සංචාරය කිරීම නවතා දැමුවේය.
එවක් පටන් පාකිස්තානයේ සංචාරයක නිරත වූයේ සිම්බාබ්වේ කණ්ඩායම පමණි. ඒ අතර පාකිස්තාන ක්‍රිකට් බලධාරීන් World II කණ්ඩායම සමග පසුගිය සැප්තැම්බර් මාසයේ තරග සවිධානය කර තිබුණේ සිය රට තුළ යළිත් වරක් ජාත්‍යන්තර තරග ආරම්භ කිරීමේ උත්සාහයක් වශයෙනි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ තිසර පෙරේරා ද World II කණ්ඩායමේ සාමාජිකයෙකු විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ලබන 29 වෙනි දින තරගය සඳහා සහභාගි විය යුතු යයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කරනු ලැබුවහොත්, එවිට "අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාව නියෝජනය කරන කණ්ඩායමක් සහභාගි කරවන" බව ද තිලංග සුමතිපාල බීබීසී සිංහල සේවයට පැවසීය.
"තාමත් ක්‍රීඩකයන් කිහිප දෙනෙක් මේ සංචිතවල ඉන්නවනේ එදා 2009 ඒ ප්‍රශ්නෙට මුහුණ පාපු අය. බොහොම සාධාරණයි ඒ අයට කිසියම් භීතියක් තියෙනව. අපිට ඒ ගැන අවබෝධයක් තියෙනව," ඔහු සඳහන් කළේය.
එබැවින් සංචාරයට එක්විය නොහැකි බව ක්‍රීඩකයන් කිහිප දෙනෙකු පවසන්නේ නම් ඔවුන්ට එම තීරණය ගැනීමට හැකියාව තිබෙන බව ද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
ලාහෝර් නුවර ප්‍රහාරයේදී පාකිස්තාන පොලිස් නිලධාරීන් හය දෙනෙකු සහ සාමාන්‍ය වැසියන් දෙදෙනෙකු මරුමුවට පත් වූ අතර, තිලාන් සමරවීර, නායක මහේල ජයවර්ධන, උප නායක කුමාර් සංගක්කාර, අජන්ත මෙන්ඩිස්, තරංග පරණවිතාන, චමින්ද වාස් සහ සුරංග ලක්මාල් තුවාල ලැබූහ.
එහිදී බරපතලම තුවාල ලැබූ ක්‍රීඩකයාවන තිලාන් සමරවීර පසුගියදා බීබීසී ක්‍රීඩා අංශය සමග අදහස් දක්වමින් කියා සිටියේ ප්‍රහාරයෙන් ඇති වූ මානසික කම්පනයෙන් ඔහු තවමත් පූර්ණ සුවය ලබා නැති බවය.
"මම හිතන්නේ නෑ මම නම් ආයෙත් යාවි කියල. ඒ සිදුවීම නිසා මමත් මගේ පවුලේ අයත් හොඳටම දුක් වින්ද," තිලාන් සමරවීර පැවසීය.
ප්‍රහාරයට ලක් වූ පාකිස්තාන සංචාරය පිළිබඳව එය සංවිධානය කළ අමාත්‍ය අර්ජුන රණතුංග සහ එවකට උප නායකයා වූ කුමාර් සංගක්කාර අතර පසුගියදා වාග් සංග්‍රාමයක් හටගත් අතර, ඉන් අනතුරුව ඔවුන් දෙදෙනා 2011 ලෝක කුසලානයේ අවසාන මහා තරගය පිළිබඳව ද ප්‍රසිද්ධ වාදයක නිරත වූහ.












