ක්‍රිකට්: ලාහෝර් සංචාරයේ 'වෙනසක් නෑ'

ප්‍රහාරයෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම සුරක්ෂිතව රැගෙන යාමට ක්‍රීඩාංගනයට පැමිණි හමුදා හෙලිකොප්ටරය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රහාරයෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම සුරක්ෂිතව රැගෙන යාමට ගඩාෆි ක්‍රීඩාංගනයට පැමිණි හමුදා හෙලිකොප්ටරය

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියමිත පරිදි මේ මාසය අග භාගයේ පාකිස්තානයේ සංචාරය කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

කිසියම් ලෙසකින් එම සංචාරය වෙනස්විය හැක්කේ පාක්සිතානයේ ආරක්ෂක වාතාවරණයේ ප්‍රබල වෙනසක් වුවහොත් පමණක් බව ද ශ්‍රී ක්‍රිකට් ආයතනයේ සභාපති, නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල බීබීසී සිංහල සේවයට පැවසීය.

දැනට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පාකිස්තානයට එරෙහිව තරග වැදී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම, මේ මස 29 වෙනි දින ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගනයේ දී විස්සයි විස්ස තරගයකට සහභාගි වීමට නියමිතය.

2009 මාර්තු 03 වෙනි දින ශ්‍රී ලංකා කණ්ඩායම ලහෝර් නුවරදී ත්‍රස්ත ප්‍රහාරයකට ගොදුරු වීමෙන් අනතුරුව, සියලුම ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම් පාකිස්තානයේ සංචාරය කිරීම නවතා දැමුවේය.

එවක් පටන් පාකිස්තානයේ සංචාරයක නිරත වූයේ සිම්බාබ්වේ කණ්ඩායම පමණි.

ක්‍රීඩකයන් විරෝධය දක්වා නෑ - තිලංග සුමතිපාල

ඡායාරූප මූලාශ්‍රය, Thilanga Sumathipala

ඡායාරූප ශීර්ෂ වැකිය, ක්‍රීඩකයන් විරෝධය දක්වා නෑ - තිලංග සුමතිපාල

මේ අතර පසුගිය මාසයේ ප්‍රථම වරට පාකිස්තානය ජාත්‍යන්තර ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් සමග සිය රටේදීම තරග වැදුන අතර, ශ්‍රී ලංකා කණ්ඩායමේ තිසර පෙරේරා ද එම ජාත්‍යන්තර කණ්ඩායමේ සාමාජිකයෙකු විය.

කෙසේ වුවත්, තවමත් පාකිස්තානයේ ආරක්ෂක වාතාවරණය යහපත් නොමැති බව පෙන්වා දෙන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බොහෝ ක්‍රීඩකයන්, ඔක්තෝබර් 29 වෙනි දින තරගය ලාහෝර් නගරයේ පැවැත්වීම පිළිබඳව සිය විරෝධය පළ කර ඇතැයි බීබීසී සිංහල සේවයට අනාවරණය වේ.

ඒ පිළිබඳව බීබීසී සිංහල සේවය විමසීමක් කළ අවස්ථාවේ ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා කියා සිටියේ, ක්‍රීඩකයන් එවැනි විරෝධයක් පළ කර නොමැති බවය. කණ්ඩායමේ වත්මන් ක්‍රීඩකයන් නොව ඇතැම් පැරණි ක්‍රීඩකයන් එවැනි මතයක් ප්‍රචාරය කරමින් සිටින බව ද ඔහු පැවසීය.

පාකිස්තානයේ ආරක්ෂක වාතාවරණය පිළිබඳව අයිසීසී ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලයේ ආරක්ෂක විශේෂඥයන් ලබන 12 වෙනි දින විශේෂ වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව වැඩිදුරටත් සඳහන් කළ තිලංග සුමතිපාල, එම වාර්තාව මත පදනම්ව සංචාරය සම්බන්ධයෙන් අවසාන තීරණයකට එළඹීමට නියමිත බවත් කියා සිටියේය.

තුවාල ලැබූ තිලාන් සමරවීර පාකිස්තානයේ සිට කොළඹට පැමිණි පසු සිය බිරිඳ සහ දියණිය සමග ගිලන් රථයකින් රෝහලට රැගෙන ගිය අවස්ථාව

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, තුවාල ලැබූ තිලාන් සමරවීර පාකිස්තානයේ සිට කොළඹට පැමිණි පසු සිය බිරිඳ සහ දියණිය සමග ගිලන් රථයකින් රෝහලට රැගෙන ගිය අවස්ථාව

ලාහෝර් නුවර ප්‍රහාරයේදී පාකිස්තාන පොලිස් නිලධාරීන් හය දෙනෙකු සහ සාමාන්‍ය වැසියන් දෙදෙනෙකු මරුමුවට පත් වූ අතර, තිලාන් සමරවීර, නායක මහේල ජයවර්ධන, උප නායක කුමාර් සංගක්කාර, අජන්ත මෙන්ඩිස්, තරංග පරණවිතාන, චමින්ද වාස් සහ සුරංග ලක්මාල් තුවාල ලැබූහ.

එහිදී බරපතලම තුවාල ලැබූ ක්‍රීඩකයාවන තිලාන් සමරවීර පසුගියදා බීබීසී ක්‍රීඩා අංශය සමග අදහස් දක්වමින් කියා සිටියේ ප්‍රහාරයෙන් ඇති වූ මානසික කම්පනයෙන් ඔහු තවමත් පූර්ණ සුවය ලබා නැති බවය.

"මම හිතන්නේ නෑ මම නම් ආයෙත් යාවි කියල. ඒ සිදුවීම නිසා මමත් මගේ පවුලේ අයත් හොඳටම දුක් වින්ද. ළඟදි පාකිස්තානේ සංචාරය කරන්න මගේ බලාපොරොත්තුවකුත් නෑ," තිලාන් සමරවීර පැවසීය.

ප්‍රහාරයට ලක් වූ පාකිස්තාන සංචාරය පිළිබඳව එය සංවිධානය කළ අමාත්‍ය අර්ජුන රණතුංග සහ එවකට උප නායකයා වූ කුමාර් සංගක්කාර අතර පසුගියදා වාග් සංග්‍රාමයක් හටගත් අතර, ඉන් අනතුරුව ඔවුන් දෙදෙනා 2011 ලෝක කුසලානයේ අවසාන මහා තරගය පිළිබඳව ද ප්‍රසිද්ධ වාදයක නිරත වූහ.