ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමක් පාකිස්තානයට යවන ලකුණු

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඇතැම් ක්‍රීඩකයන් අකමැත්ත හා විරෝධය පළ කළත් ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයට යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.
පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධානි නජාම් සේතිද අද (ඔක් 16) උදෑසන මාධ්‍යයට පවසා තිබුණේ ශ්‍රී ලංකා කණ්ඩයාම පාකිස්තානයට පැමිණෙන බව දැනුම් දී තිබෙන බවය.
මේ මස 29 වෙනි දින ලාහෝර් නුවර පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරගයට සහභාගි වීම පිණිස ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයේ සංචාරය කිරීම පිළිබඳව අවසන් තීරණය අද සවස පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු රැස්වීමෙන් අනතුරුව නිල වශයෙන් නිවේදනය කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය.
එසේ සංචාරය කළහොත් 2009 වසරේ ලාහෝර් නුවර දී ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල වූ ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයට යන පළමු අවස්ථාව මෙය වනු ඇත.
පාකිස්තානයේ සංචාරය කිරීම පිළිබඳව යළි සලකා බලන මෙන් ඉල්ලා සිටිමින් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් පිරිසක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිපියක් පසුගියදා යොමු කළ අතර එමගින් ඔවුන් පකිස්ථානයේ සංචාරය කිරීමට සිය අකමැත්ත පළ කර තිබිණි.
ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රීඩකයන් මතු කරන කරුණු ද සලකා බලා අවසාන තීරණයක් අද දින ගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊට ප්‍රතිචාර දක්වමින් පැවසීය.

පසුගිය දින කිහිපයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරීන්, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිලධාරීන් මෙම සංචාරය ආරක්ෂක වැඩපිළිවෙළ ගැන කරුණු පැහැදිලි කර දී තිබේ.
පකිස්ථාන ක්‍රිකට් නායක ෂෆ්රාස් අහමඩ් ද පාකිස්තාන සංචාරයේ නියැලෙන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් ප්‍රසිද්ධියේ ඉල්ලා සිටියේය.
ක්‍රීඩකයන්ට පකිස්ථානයේ ලබාදෙන ආරක්ෂාව ගැන වාර්තාවක් පාකිස්තාන පොලිසිය හරහා ලබාගන්නා ලෙස ශ්‍රී ලංකා පොලිසියට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ද දැනුම් දී තිබේ.
ඔහු බීබීසි සිංහල සේවයට පැවසුවේ ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව ගැන 100% සහතිකයක් ඇත්නම් පමණක් කණ්ඩායමට පකිස්තානයට යාමට අවසර ලබා දෙන බවය.
ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය අවස්ථාවල දී උදව් කළ රටක් ලෙස පාකිස්තානය හැඳින්වූ ක්‍රීඩා අමාත්‍යවරයා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවා දැන් පාකිස්තානයේ ඇති ආරක්ෂාව ගැන සෑහීමකට පත්ව ඇති බව පෙන්වා දුන්නේය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
කෙසේ නමුත් තම පවුල්වලින් ඇති විරෝධය නිසා තමන්ට කිසිසේත්ම මෙම සංචාරයට සහභාගී විය නොහැකි බවට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ක්‍රිකට් ආයතනයට දැනුම්දී ඇති බව වාර්තා වේ.
"එකපාරක් පහර කාපු කෙනා තමයි ඒ දුක දන්නේ. අපි දැක්කා අපිත් සමග සිටි ක්‍රීඩකයන් ඒ ප්‍රහාරයෙන් පස්සේ වින්ද දුක. පහර කාපු කණ්ඩායම හැටියට අපි යායුත්තේ තවත් ජාත්‍යන්තර කණ්ඩායම් කිහිපයක් එහෙ ගියාට පස්සේ" යනුවෙන් නම සඳහන් කිරීමට අකමැති වූ ක්‍රීඩකයකු බීබීසි සිංහල සේවයට එසේ කියා සිටියේ පාකිස්තානයට තමන් කිසි සේත් නොයන බව පවසමිනි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයන් වන කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන ඇමරිකානු ඩොලර් 100,000 ක මුදලකට ලෝක කණ්ඩායම නියෝජනය කරමින් පාකිස්තානයේ සංචාරය කරන ලෙස කළ ආරාධනාවක් පසුගිය සැප්තැම්බර් මාසයේ ප්‍රතික්ෂේප කළහ.
කුමාර් සංගක්කාර මෑතකදී පවා 2009 ප්‍රහාරය ගැන ඉතා කලකිරීමකින් කතා කළේ එවකට ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරක්ෂාව ගැන බලධාරීන් නිසි ලෙස කටයුතු නොකළ බවට චෝදනා කරමිනි.
පාකිස්තානය සමග පැවැත්වෙන විස්සයි විස්ස තරග 3 ටම ක්‍රීඩා කිරීමට කැමති ක්‍රීඩකයන් පමණක් සංචාරයට එක්කර ගැනීමට මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තීරණය කර තිබේ.
ලසිත් මාලිංග ඇතුළු ක්‍රීඩකයන් කිහිප දෙනෙකු දන්වා තිබෙන්නේ තමන් ඩුබායිහි පැවැත්වෙන තරග 2 සඳහා පමණක් ක්‍රීඩා කිරීමට සුදානම් බවය.
එලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයට යවන බවට තීරණය කළහොත් බොහෝවිට විස්සයි විස්ස කණ්ඩායම නියෝජනය කරන නිත්‍ය ක්‍රීඩකයන් කිහිප දෙනෙකුගෙන් තොරව එම කණ්ඩායම පාකිස්තානයට යැවීමට සිදුවන ආකාරයක් දක්නට ලැබේ.








