පාකිස්තාන සංචාරයට "උපුල් තරංග, ලසිත් මාලිංග නෑ"

නායක උපුල් තරංග, හිටපු නායක ලසිත් මාලිංග, දිනේෂ් චන්දිමාල් සහ ඇන්ජලෝ මැතිව්ස් තරගයට සහභාගි නොවීමට තීරණය කර තිබේ

ඡායාරූප මූලාශ්‍රය, Icc

ඡායාරූප ශීර්ෂ වැකිය, නායක උපුල් තරංග, හිටපු නායක ලසිත් මාලිංග, දිනේෂ් චන්දිමාල් සහ ඇන්ජලෝ මැතිව්ස් තරගයට සහභාගි නොවීමට තීරණය කර තිබේ

ලබන 29 වෙනි දින පාකිස්තානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගනයේ දී තරග වැදීමට නියමිත ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමට නායක උපුල් තරංග හෝ හිටපු නායක ලසිත් මාලිංග සහභාගි නොවන බව බීබීසී සිංහල සේවයට අනාවරණය වේ.

එමෙන්ම දිනේෂ් චන්දිමාල් සහ ඇන්ජලෝ මැතිව්ස් යන ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ද පාකිස්තාන සංචාරයට සහභාගි නොවීමට තීරණය කර ඇතැයි කණ්ඩායමේ ආරංචි මාර්ග අනාවරණය කළේය.

2009 මාර්තු මාසයේ දී ගඩාෆි ක්‍රීඩාංගණය ආසන්නයේ දී ත්‍රස්තවාදී ප්‍රහාරයකට ලක්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයේ සංචාරයක යෙදෙන ප්‍රථම වතාව මෙයය.

ප්‍රහාරය එල්ල වූයේ සිය කණ්ඩායමට බැවින් එරට සංචාරය කරන පළමු කණ්ඩායම වීම පිළිබඳව කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ දැඩි විරෝධයක් දක්වති.

ලාහෝර් ක්‍රීඩාංගණයට දැඩි ආරක්ෂාවක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

වෙනත් ජාත්‍යන්තර කණ්ඩායම් සංචාරය කිරීමෙන් අනතුරුව ආරක්ෂක වාතාවරණය යහපත් නම් තමන්ට ද පාකිස්තානයේ සංචාරයක නිරත විය හැකි බව ඔවුන්ගේ ස්ථාවරය වී තිබේ.

සිය තීරණයෙන් අනතුරුව, සංචාරයට සහභාගි වෙන මෙන් කණ්ඩායමේ අනෙක් දක්ෂ ක්‍රීඩකයන්ට බලපෑම් එල්ල කරන බවට ඔවුහු ක්‍රීඩා බලධාරීන්ට චෝදනා කරති.

ලබන 29 වෙනි දින පැවැත්වෙන තරගයට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගි කරවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳුදා (ඔක්තෝබර් 16) සවස නිවේදනය කළේය.

ශ්‍රී ලංකා ආණ්ඩුවේ, පාකිස්තාන ආණ්ඩුවේ, ආරක්ෂක කටයුතු පිළිබඳ ස්වාධීන විශේෂඥයන්ගේ සහ පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සහාය සහිතව පසුගිය මාස කිහිපය මුළුල්ලේ පාකිස්තානයේ ආරක්ෂාව පිළිබඳව පුළුල් විශ්ලේෂණයක් කළ අතර, එම වාර්තා සහ අයිසීසී ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිර්දේශය ප්‍රකාර එම තීන්දුවට එළඹුණ බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

තුවාල ලැබූ තිලාන් සමරවීර පාකිස්තානයේ සිට කොළඹට පැමිණි පසු සිය බිරිඳ සහ දියණිය සමග ගිලන් රථයකින් රෝහලට රැගෙන ගිය අවස්ථාව

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, තුවාල ලැබූ තිලාන් සමරවීර පාකිස්තානයේ සිට කොළඹට පැමිණි පසු සිය බිරිඳ සහ දියණිය සමග ගිලන් රථයකින් රෝහලට රැගෙන ගිය අවස්ථාව

කණ්ඩායමේ කිසියම් ක්‍රීඩකයෙකු පාකිස්තාන සංචාරයට සහභාගි නොවීමට තීරණය කළ හොත් තමන් එම තීන්දුවට ගරු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල පසුගිය සිකුරාදා බීබීසී සිංහල සේවයට පැවසීය.

"තාමත් ක්‍රීඩකයන් කිහිප දෙනෙක් මේ සංචිතවල ඉන්නවනේ එදා 2009 ඒ ප්‍රශ්නෙට මුහුණ පාපු අය. බොහොම සාධාරණයි ඒ අයට කිසියම් භීතියක් තියෙනව. අපිට ඒ ගැන අවබෝධයක් තියෙනව," ඔහු පැවසීය.

කෙසේ වුවත් පාකිස්තානය සමග පැවැත්වෙන විස්සයි විස්ස තරග තුනටම ක්‍රීඩා කිරීමට කැමති ක්‍රීඩකයන් පමණක් සංචාරයට එක්කර ගැනීමට ද ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් සියලු දෙනා අකැමැත්ත පළ කිරීම හේතුවෙන් තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් සංචාරය සඳහා එක් කර ගැනීම පිළිබඳව ක්‍රීඩා බලධාරීන් සලකා බලමින් සිටින බව ද බීබීසී සිංහල සේවයට වාර්තා වේ.

පාකිස්තාන සංචාරය පිළිබඳව එය සංවිධානය කළ අමාත්‍ය අර්ජුන රණතුංග සහ එවක උප නායකයා වූ කුමාර් සංගක්කාර අතර පසුගියදා වාග් සංග්‍රාමයක් හටගත්තේය
ඡායාරූප ශීර්ෂ වැකිය, පාකිස්තාන සංචාරය පිළිබඳව එය සංවිධානය කළ අමාත්‍ය අර්ජුන රණතුංග සහ එවක උප නායකයා වූ කුමාර් සංගක්කාර අතර පසුගියදා වාග් සංග්‍රාමයක් හටගත්තේය

තමන් යළිත් කිසි දිනෙක පාකිස්තානයේ සංචාරය නොකරන බව ප්‍රහාරයෙන් බරපතලම තුවාල ලැබූ තිලාන් සමරවීර පසුගියදා බීබීසී ක්‍රීඩා වෙබ් අඩවියට පැවසීය.

2009 සංචාරයේදී කණ්ඩායමේ ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රමාණවත් පියවර නොගත් බවට එවකට උප නායකයා වූ කුමාර් සංගක්කාර මීට මාස කිහිපයකට ඉහතදී ද ක්‍රීඩා බලධාරීන්ට චෝදනා කළේය.

ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ද ශ්‍රී ලංකා කණ්ඩායම සමග පාකිස්තාන සංචාරයට සහභාගි වීමට නියමිතය.