"ක්‍රිකට් පිස්සුව" ජර්මනියට බෝ කරන ශ්‍රී ලාංකිකයා

ලංකාවේ ක්‍රිකට් ටීම් එක ගැන කියවෙන කොට ඒක මගේ කණ්ඩායම වගේ මට දැනෙන්නේ.

ඡායාරූප මූලාශ්‍රය, Deutsche Cricket Union

ඡායාරූප ශීර්ෂ වැකිය, ලංකාවේ ක්‍රිකට් ටීම් එක ගැන කියවෙන කොට ඒක මගේ කණ්ඩායම වගේ මට දැනෙන්නේ
    • Author, තිසර අරවින්ද රතුවිතාන
    • Role, බීබීසී

"මම ඉපදුණේ කළුබෝවිල ඉස්පිරිතාලෙ. ජීවත් වුණේ දෙහිවල. අල්ලපු ගෙදර ප්‍රනාන්දු අංකල් එයාගේ දරුවන්ට වගේම අපිටත් ආදරෙන් සැළකුවා. අසූ තුනේ ජූලි කෝලාහල වෙනකොට අපිව ආරක්ෂා කළේ ඒ පවුලේ අය."

"මම තාමත් ඒ ප්‍රනාන්දු අංකල්ගේ ගෙදර අයව හොයනවා"

රවී අතීතය සිහිපත් කළේය. කුඩා කළ සිටම ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට ඇලුම් කළේය. ප්‍රනාන්දු අංකල් ගේ දරුවන් පස්දෙනා සමඟ හැන්දෑවට ක්‍රිකට් ක්‍රීඩා කළ සුන්දර අතීතයට තවමත් ඔහු ආදරයෙන් ආවර්ජනය කරයි.

රටේ පවතින තත්වය හමුවේ දරුවන්ගේ ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් රවිගේ පියා තීරණයක් ගත්තේය. ඒ තීරණයේ ප්‍රතිඵලය වූයේ රවී කුඩා අවදියේම මව්පියන්ගෙන් වෙන් වී ජර්මනිය බලා පිටත් වීමය.

පුහුණු වැඩ මුළු සංවිධානය කිරීම

ඡායාරූප මූලාශ්‍රය, Deutsche Cricket Union

ඡායාරූප ශීර්ෂ වැකිය, පුහුණු වැඩ මුළු සංවිධානය කිරීම

"ඊට පස්සේ ප්‍රනාන්දු අංකල්වත් එයාගේ පුතාලවත් මට හරියට මිස් උනා. ඒ සිංහල අසල්වැසියෝ මට මගේ සහෝදරයෝ වගේ හිටියේ."

මෙවර ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය නැරඹීම සඳහා ලන්ඩන් නුවරට පැමිණ සිටි අවස්ථාවේ දී රවී මට හමු විය. ඔහුගේ කතාවට සාවධානව සවන් දීම සඳහා මම ඔහුට බීබීසී මැදිරියට පැමිණෙන ලෙස ආරාධනා කළෙමි.

Skip Facebook post

මෙහි අන්තර්ගතය නැත

වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.

End of Facebook post

ජර්මනිය ඔහුට හුරු විය

නවරත්නම් රවි සිය ඥාතියෙකු ගේ නිවසේ නවාතැන් ගෙන අධ්‍යාපනය හදාරමින් සිටියේය. කාලය ගෙවී ගියේය. ජර්මනිය ඔහුට හුරු විය.

පාපන්දුව ජීවිතයේ කොටසක් කරගෙන දිවි ගෙවන ජර්මානු ජාතිකයන් අතර ක්‍රිකට් ක්‍රීඩා කිරීම සඳහා සගයන් එක් රැස් කර ගැනීම රවිට එතරම් පහසු නොවීය.

මැරෙන කල් මේ ලෙඩේ හොඳ වෙන එකක් නැහැ

නමුත් ඔහු උත්සාහය අතහැරියේ නැත. අතරින් පතර ඇති, ආසියාතිකයින් එක්ව ගොඩනගා ගත් අතලොස්සක් වූ ක්‍රිකට් කණ්ඩායම් සොයා රට වටේ යන්නට පටන් ගත්තේය.

ඔහුගේ එම ගමනේ ප්‍රතිපලය වූයේ ජර්මනියේ සිටි ආසියාතිකයින්ගේ ක්‍රිකට් සමාජ නියෝජනය කළ ක්‍රීඩකයෙකු බවට පත් වීමෙනි.

"ක්‍රිකට් පුහුණුකරුවන් තවත් කීප දෙනෙක් ම අපිට ඉන්නවා. අපේ එකම අරමුණ ICC පිළිගැනීම ලැබෙන ජර්මානු ජාතික කණ්ඩායමක් හැදීම

ඡායාරූප මූලාශ්‍රය, Deutsche Cricket Union

ඡායාරූප ශීර්ෂ වැකිය, "ක්‍රිකට් පුහුණුකරුවන් තවත් කීප දෙනෙක් ම අපිට ඉන්නවා. අපේ එකම අරමුණ ICC පිළිගැනීම ලැබෙන ජර්මානු ජාතික කණ්ඩායමක් හැදීම"

"මම ක්‍රිකට් පිස්සෙක්. මම මැරෙන කල් මේ ලෙඩේ හොඳ වෙන එකක් නැහැ. ඒ නිසා මම තීරණය කළා මේ ලෙඩේ ජර්මනියට බෝ කරන්න."

ජර්මනිය තුළ ක්‍රිකට් ක්‍රීඩාව පාසල් මට්ටමින් ස්ථාපනය කිරීමට ඔහු වැඩ පිළිවෙළක් සකස් කළේය. ඔහු ජර්මානු ජාතික පාසල් ළමුන්ට ක්‍රිකට් ඉගැන්වීම ආරම්භ කළේය.

"ජර්මනිය කියන්නේ විශාල රටක්. මට තනියෙන් මේක කරන්න බැහැ. ක්‍රිකට් වලට ආදරේ කරන කීප දෙනෙක් එක්ක එකතු වෙලා මම ක්‍රිකට් සමාජයක් පිහිටුවා ගත්තා."

'ඩෝච ක්‍රිකට් යුනියන්' (Deutsche Cricket Union) එසේ ආරම්භ විය. නවරත්නම් රවි එහි සභාපතිවරයා වශයෙන් සිටිය දී පාසල් ළමුන්ට ක්‍රිකට් පුහුණුව ද ලබා දෙයි.

"ශ්‍රී ලංකාවට විශේෂ ගෞරවයක්"

ජර්මනිය ක්‍රිකට් ලෝකයේ ප්‍රබල කණ්ඩායමක් වුනොත් ඔවුන් ශ්‍රී ලංකාවට විශේෂ ගෞරවයක් දක්වයි."

ඡායාරූප මූලාශ්‍රය, Deutsche Cricket Union

ඡායාරූප ශීර්ෂ වැකිය, "ජර්මනිය ක්‍රිකට් ලෝකයේ ප්‍රබල කණ්ඩායමක් වුනොත් ඔවුන් ශ්‍රී ලංකාවට විශේෂ ගෞරවයක් දක්වයි"

"ක්‍රිකට් පුහුණුකරුවන් තවත් කීප දෙනෙක් ම අපිට ඉන්නවා. අපේ එකම අරමුණ ICC පිළිගැනීම ලැබෙන ජර්මානු ජාතික කණ්ඩායමක් හැදීම. එහෙම වෙලා ජර්මනිය ක්‍රිකට් ලෝකයේ ප්‍රබල කණ්ඩායමක් වුනොත් ඔවුන් ශ්‍රී ලංකාවට විශේෂ ගෞරවයක් දක්වයි."

රවිගේ බලාපොරොත්තුව ජර්මනියේ ක්‍රිකට් ඉතිහාස පොතේ ශ්‍රී ලංකා නාමය ලියා තැබීමය.

පාසල් මට්ටමින් ළමුන් පුහුණු කිරීම, පුහුණු වැඩ මුළු සංවිධානය කිරීම, ක්‍රිකට් තරඟාවලි පැවැත්වීම, ලෝක ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයන් කැඳවා ඔවුන් දිරි ගැන්වීම, ඔවුනට අවශ්‍ය ක්‍රීඩා උපකරණ සැපයීම 'ඩෝචේ ක්‍රිකට් යුනියන්' සතු රාජකාරිවලින් කොටසකි.

ජර්මනියේ ජීවත් වන තවත් ශ්‍රී ලාංකිකයෙකු වන රේමන් කුරේ ගෙන් ලැබෙන සහයෝගය පිළිබඳව රවී මෙහිදී විශේෂයෙන් සිහිපත් කළේය.

"මිනිස්සු නරක නැහැ"

Deutsche Cricket Union

ඡායාරූප මූලාශ්‍රය, Deutsche Cricket Union

"මම ලංකාවෙන් ජර්මනියට ආවේ පුංචි කාළේ. ඒ වුණත් තවමත් මම ශ්‍රී ලාංකිකයෙක්. ලංකාවේ ක්‍රිකට් ටීම් එක ගැන කියවෙන කොට ඒක මගේ කණ්ඩායම වගේ මට දැනෙන්නේ. මේ පාර ලෝක කුසලානයට ලංකාව සෙල්ලම් කරනවා බලන්නත් මම ගියා." රවී ආඩම්බරයෙන් කීවේය.

ශ්‍රී ලංකාවේ ජාතීන් අතර සංහිඳියාව පිළිබඳව සිය අදහස් විමසු විට ඔහු කියා සිටියේ "එක්කෙනෙක් දෙන්නෙක් කරන වැරදිවලට මුළු සමාජයම වැරදි නැහැනේ" යනුවෙනි.

"මිනිස්සු නරක නැහැ. ඔවුන් හරි හොඳයි. මේ ඔක්කොම අවස්ථාවාදී දේශපාලකයන් ඇති කරපු දේවල්. සමහර අය ඒවාට රැවටිලා ක්‍රියා කරනවා." රවී සිනාමුසු මුහුණින් යුතුව පැවසීය.

Deutsche Cricket Union

ඡායාරූප මූලාශ්‍රය, Deutsche Cricket Union