ජොෆ්රා ආචර්: එංගලන්තයට අවසන් මොහොතේ එක්වූ කොදෙව්වන් අහිමි කර ගත් ක්‍රීඩකයා

ජොෆ්රා ආචර්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

වසර 44ක ක්‍රිකට් ලෝක කුසලාන ඉතිහාසයේ පළමු ක්‍රිකට් උපන් රට වන එංගලන්තය දිනා ගත් පළමු එක්දින ලෝක කුසලාන තරගාවලියේ එංගලන්තය වෙනුවෙන් වැඩි ම කඩුලු ලාභියා වූයේ ඔහුය.

එපමණක් නොව එංගලන්තයට ජය ගෙන ආ අතිරේක පන්දු වාරය වෙනුවෙන් පන්දු යැව්වේ ද ඔහුය.

ඔහු අන් කිසිවෙකු නොව තවමත් 24 හැවිරිදි වියේ පසුවන ජොෆ්රා ආචර් වේ.

කොදෙව් ක්‍රීඩකයා එංගලන්ත කණ්ඩායමට එක්වූ හැටි

ජොෆ්රා ආචර් ඉංග්‍රීසි ජාතික පියෙකුට සහ බාබඩෝස්හි මවකට දාව බාබඩෝස්හිදී උපත ලැබූවෙකු විය.

ඔහු වයස අවුරුදු 19න් පහළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වසර තුනකදී ම නියෝජනය කරමින් දක්ෂතා දැක්වූ අතර 2015 වසරේ බටහිර ඉන්දීය කොදෙව් ලෝක කුසලාන සංචිතයට කැඳවනු ඇතැයි අපේක්ෂාවෙන් පසු වුව ද එම අවස්ථාව හිමි වූයේ නැත.

ජීවිතය වෙනස් කළ බවුන්සර් පන්දුව

බාබඩෝස්හි උපත ලබා පසුව එංගලන්ත කණ්ඩායම නියෝජනය කළ ක්‍රිස් ජෝඩ්න් කොදෙව්හි පළමු පෙළ තරගාවලියකට විදෙස් ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කිරීමට ගොස් සිටියදී පුහුණුවීම් අතරතුර ඔහු පන්දුවට පහර දෙන විට පන්දු යැවීමට පැමිණ සිටියේ ජොෆ්රා ආචර්ය.

ඒ පිළිබඳව ක්‍රිස් ජෝඩ්න් සිය මතකය අවදි කළේ මෙසේය.

"මම ඒ වෙලාවේ පන්දුවට පහර දෙන්න පුහුණු වෙමින් හිටියේ. කොදෙව් කණ්ඩායමේ ෂායි හෝප් කඩුලු රැක්කා. ජොෆ්රා ආචර් තමයි පන්දු යවන්න හිටියේ. ඒ වෙලාවේ ෂායි හෝප් මගේ ළඟට දුවගෙන ඇවිත් කිව්වා ඔය පොඩි එකාගේ (kid) පන්දු ඔයා හිතනවාට වඩා වේගවත් කියලා. මම එච්චර ගණන් ගත්තේ නැහැ ඒක."

ඊළඟ මොහොතේ ඔහු මුහුණ දුන් ජොෆ්රා ආචර්ගේ පන්දුව ගැන ක්‍රිස් ජෝඩ්න් පළ කළේ මෙවන් අදහසකි.

Archer

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

"ඔහු මට දැම්මේ බවුන්සර් පන්දුවක්. ඒක ඊතලයක් වගේ මගේ හිස පසු කරගෙන ගියා. හරි ඉලක්කයකට වැදුණා නම් මම අනිවාර්යයෙන් ම එතන ම ඉවරයි. පන්දුවෙන් බේරෙන්න ගිහින් මම එතන ම බිම ඇදගෙන වැටුණා. ෂායි හෝප් මගේ ළඟට දුවගෙන ඇවිත් හිනාවෙමින් කිව්වා, ඕකනේ මම කිව්වේ, කියලා."

එම තරගාවලිය අවසානයේ යළි එංගලන්තය බලා ගිය ක්‍රිස් ජෝඩ්න් තමන් ක්‍රීඩා කළ සසෙක්ස් ප්‍රාන්ත කණ්ඩායමේ පුහුණුකරු වූ මාර්ක් රොබින්සන් සමග කෙලින් ම ජොෆ්රා ආචර් පිළිබඳව සාකච්ඡා කළේය.

ජොෆ්රා එංගලන්තයේ සසෙක්ස් කණ්ඩායමට එක්වූයේ එම සාකච්ඡාවෙන් පසුවය.

පසුව ජොෆ්රා සිය පියාගේ සම්බන්ධය මත එංගලන්තයේ පදිංචියට අයැදුම් කළ අතර පසුව ඔහු එංගලන්තයේ පදිංචිය හිමි කර ගත්තේය.

එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයට ඔහු සිය කණ්ඩායමට ඇතුළත් කර ගත හැකි වූයේ පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී සංශෝධනය කරන ලද 'සාමාජිකත්වය ලැබීම සඳහා වන සුදුසුකම් පටිපාටියට' අනුකූලවය.

ඒ අනුව, ඔහු පළමු වරට එංගලන්ත ක්‍රිකට් සංචිතයට ඇතුළත් කරන ලද්දේ, පසුගිය අප්‍රේල් මාසයේදීය.

ඔහු ඊට පෙර ඉන්දීය ප්‍රිමියර් ලීග්, පාකිස්තාන සුපර් ලීග්, බිග් බෑෂ් ලීග් ඇතුළු තරගාවලි රැසක දස්කම් දක්වා තිබිණි.

විවිධ මත වාද

ජොෆ්රා ආචර් ලෝක කුසලාන තරගාවලිය සඳහා නම් කෙරුණු එංගලන්ත කණ්ඩායමට ඇතුළත් වූයේ එක්දින ජාත්‍යන්තර තරග 3ක් පමණක් ක්‍රීඩා කර තිබූ අවස්ථාවකදීය.

ඔහු ලෝක කුසලානය නියෝජනය කරන එංගලන්ත කණ්ඩායමට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් විවිධ මත වාද පළ විය.

Archer

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

එංගලන්ත කණ්ඩායමේ වේග පන්දු යවන්නන් වන ක්‍රිස් වෝක්ස් සහ මාර්ක් වුඩ් වැන්නන් අනතුරු ඇඟවූයේ, ජොෆ්රා ආචර් සංචිතයට එක් වුවහොත් ඒ වන විටත් ලොව අංක එකේ එක්දින කණ්ඩායම බවට පත්ව සිටි එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයින් අතර බැඳීම පළුදු විය හැකි බවටය.

කෙසේ වෙතත්, එංගලන්තයේ හිටපු නායකයින් වන නසර් හුසේන්, ඇන්ඩෲ ෆ්ලින්ටොෆ් වැන්නන් අනිවාර්යයෙන් ම ජොෆ්රා ආචර් සංචිතයට ඇතුළත් කළ යුතු බව අවධාරණය කළහ.

ඇන්ඩෲ ෆ්ලින්ටොෆ් වරෙක පැවසුවේ, "ඕනෑ ම ප්‍රබල ක්‍රීඩකයෙකු ඉවත් කර ජොෆ්රා ආචර් සංචිතයට ඇතුළත් කළ යුතු," බවය.

අවසානයේදී කෙසේ හෝජොෆ්රා ආචර් ලෝක කුසලානය වෙනුවෙන් නම් කෙරුණු එංගලන්ත සංචිතයේ ක්‍රීඩකයින් 15 දෙනා අතරට ඇතුළත් කෙරිණි.

ලෝක කුසලාන තරගාවලියේදී දැක්වූ දස්කම්

ඇතැම් ක්‍රීඩකයින් අනතුරු ඇඟවූ පරිදි ජොෆ්රාගේ කැඳවීම නිසා එංගලන්ත කණ්ඩායමේ කණ්ඩායම් හැඟීම පළුදු වූයේ නැත. ඔවුහු පළමු වරට එක්දින ක්‍රිකට් ලෝක කුසලානය තමන් සතු කර ගත්තේය.

ජොෆ්රා ආචර්

ඡායාරූප මූලාශ්‍රය, Reuters

එම ජයග්‍රහණ මාලාවේ ජොෆ්රා ආචර් සාඩම්බර හිමිකරුවෙකු බවට පත් විය.

එංගලන්තය වෙනුවෙන් වැඩි ම කඩුලු ලාභියා ලෙස ඔහු තරග 11කදී කඩුලු 20ක් බිඳ හෙළීය.

ඊට අමතරව තරගාවලියේ පන්දු වාරයකදී අවම ලකුණු සාමාන්‍යයක් ලබා දුන් ක්‍රීඩකයා බවට පත්වූයේ ද ඔහුය. එය එක් පන්දු වාරයකදී 4.57ක ලකුණු සාමාන්‍යයකි.

එපමණක් නොව එක්දින තරග 3කට පමණක් ක්‍රීඩා කර සිටියදී ඔහු පිළිබඳව විශ්වාසය තබමින් එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය ඔහු සංචිතයට ඇතුළත් කළා සේ ම නායක ඔයින් මෝගන් ද ඔහු කෙරෙහි විශ්වාසය තබමින් තීරණාත්මක අතිරේක පන්දු වාරය යැවීමේ වගකීම ඔහු වෙත භාර කළේය.

ඔහු අසීරු පන්දු යැවීමක නිරත වෙමින් නවසීලන්තයේ හතරේ පහර සංඛ්‍යාව පාලනය කළ හෙයින් ලකුණු සම වුව ද එංගලන්තයට ජය හිමි විය.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට අහිමි කර ගත් ජොෆ්රා ආචර් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කැපී පෙනෙන ක්‍රීඩකයෙකු බවට පත් වූයේ එලෙසිනි.

තරගය අවසානයේ ඔහු මාධ්‍යවේදීන් හමුවේ පැවසුවේ, "මට මේ ජයග්‍රහණ ගැන කියාගන්න වචන නැහැ," යනුවෙනි.

කණ්ඩායමේ සාමාජිකත්වය පවා අවිනිශ්චිතව පැවති ජොෆ්රා ආචර්, පළමු වරට ලෝක කුසලාන එක්දින ශූරතාව හිමි කර ගත් එංගලන්ත කණ්ඩායමේ ජයග්‍රහණය පසුපස සිටි විශිෂ්ට ක්‍රීඩකයෙකු ලෙස ඉතිහාසගත වනු ඇත.

තවදුරටත් කියවන්න.