ක්‍රිකට් ලෝක කුසලානය: ඉන්දීය රජයේ තීරණයට එකඟ වන බව විරාත් කෝලි කියයි

Getty Images

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

එළැඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී පාකිස්තානය සමග පැවැත්වෙන තරගයට සහභාගි නොවීම සම්බන්ධයෙන් ඉන්දීය රජය සහ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ගන්නා තීරණයට අනුව ක්‍රියා කරන බව එරට ක්‍රිකට් නායක විරාත් කෝලි පවසයි.

ඉන්දීය පාලිත කාශ්මීරයේ සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාරයේ වගකීම පාකිස්තානයේ සන්නද්ධ කල්ලියක් භාර ගැනීමෙන් පසුව පාකිස්තානය සහ ඉන්දියාව අතර තරගය සම්බන්ධයෙන් සැක මතු වී තිබේ.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අයත් දෙරට අතර තරගය ජූනි මස 16 වන දා එංගලන්තයේදී පැවැත්වීමට නියමිතය.

"මේ සිද්ධ වූ දේ ගැන ඉන්දීය කණ්ඩායම සහ සියල්ලන් ම තැති ගැන්මකටත් කනගාටුවටත් පත්ව සිටිනවා," විරාත් කෝලි පැවසීය.

"අපේ ස්ථාවරය සරලයි: අපේ රට සහ ක්‍රිකට් පාලක මණ්ඩලය ගන්නා තීරණයට අපි එකඟ වෙනවා. මූලික වශයෙන් අපේ අදහස ඒකයි. රජය සහ පාලක මණ්ඩලය ගන්නා ඕනෑ ම තීරණයකට අපි ගරු කරනවා."

Getty Images

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

මරාගෙන මැරෙන ප්‍රහාරයකින් ඉන්දීය ආරක්ෂක භටයින් 46 දෙනෙකු ජීවිතක්ෂයට පත් වීම හේතුවෙන්, පාකිස්තානයට එරෙහි විරෝධතා රැසක් ආරම්භ විය. කෙසේ වෙතත්, පාකිස්තාන රජය පවසන්නේ තමන් එම ප්‍රහාරයට කිසිදු සම්බන්ධතාවක් නොමැති බවය.

මේ අතර, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලා ඇත්තේ, "ත්‍රස්තවාදය ඉස්මතු වන රටවල් සමග සබඳතා නතර කරන" ලෙසටය.

මෙම නිවේදනය හරහා පාකිස්තානයට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තහනම් කිරීම සඳහා පෙළඹවීමක් කර තිබේ.

ලෝක කුසලාන තරගවලදී ඉන්දියාව අඛණ්ඩව තරග 6කදී පාකිස්තානය පරාජයට පත් කර තිබේ.

මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඉන්දීය සුපිරි පිතිකරුවෙකු වූ සචින් ටෙන්ඩුල්කාර් පවසා ඇත්තේ, පාකිස්තානය සමග පැවැත්වෙන තරගයෙන් වැදගත් ප්‍රසාද ලකුණු සංඛ්‍යාවක් අහිමි වුව ද පාලක මණ්ඩලයේ තීරණයට තමන් සහය පළ කරන බවය.

තවත් ලිපි: