ක්‍රිස් ගේල් ක්‍රිකට් පිටියෙන් සමුගැනීම: "මා වෙනුවෙන් කොදෙව්වන් ලෝක කුසලානය ජය ගත යුතුයි"

Getty Images

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල් එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසු ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබේ.

1999 වසරේදී එක්දින ජාත්‍යන්තර පිටියට පිවිසි 39 හැවිරිදි ක්‍රිස් ගේල් මේ වන විට එක්දින තරග 284කදී රැස් කර ඇති ලකුණු සංඛ්‍යාව 9727කි.

කොදෙව්වන් අතරින් ඔහු දෙවෙනි වන්නේ, සුපිරි පිතිකරු බ්‍රයන් ලාරාට පමණි.

ගේල් පැවසුවේ "සතුටුවීම සඳහා තරුණයින්ට අවස්ථාවක් ලබා දිය යුතු" බවය.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මේ වසරේ මැයි 30 වෙනිදා සිට ජූලි 14 වෙනිදා දක්වා එංගලන්තයේ සහ වේල්ස්හි පැවැත්වීමට නියමිතය.

Chris Gayle/Instagram

ඡායාරූප මූලාශ්‍රය, Chris Gayle/Instagram

ඡායාරූප ශීර්ෂ වැකිය, සමුගැනීම ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ක්‍රිස් ගේල් එය ඉන්ස්ටග්‍රෑම්හි පළ කර තිබිණි

එළඹෙන බදාදා (පෙබරවාරි 20) ඇරඹීමට නියමිත එංගලන්තයට එරෙහි එක්දින තරග 5කින් සමන්විත තරගාවලිය සඳහා ක්‍රිස් ගේල් කැඳවනු ලබා ඇත.

සිය එක්දින ක්‍රීඩා දිවිය ලෝක කුසලාන ජයග්‍රහණයකින් අවසන් කිරීමට හැකි වුවහොත්? යන පැනයට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ, "ඇත්ත වශයෙන් ම, තරුණ ක්‍රීඩකයින් මං වෙනුවෙන් ඒක කළ යුතුයි," යනුවෙනි.

"ඔවුන් මා වෙනුවෙන් එය කළ යුතුයි. මට ලෝක කුසලානය දිනා දිය යුතුයි. ඒ වගේ ම මමත් මගේ උපරිම දායකත්වය ලබා දෙන්නයි උත්සහ කරන්නේ."

"මේ අවුරුද්ද මට ගොඩක් වැදගත් එකක්. 2019 වසර විශිෂ්ට සටහනක් තබමින් අවසන් කරන්න මම බලාපොරොත්තු වෙනවා."

ක්‍රිස් ගේල් එක්දින ශතක 23ක් වාර්තා කර ඇති අතර 2015 වසරේදී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ඔහු රැස් කළ ලකුණු 215 ක්‍රිකට් ඉතිහාසයේ සිව් වන වැඩි ම ලකුණු සංඛ්‍යාව ලෙස සටහන් වී තිබේ. එක්දින තරගවලදී ද්විත්ව ශතක රැස් කළ ලොව පිතිකරුවන් 6 දෙනාගෙන් ඔහු එක් අයෙකි.

Getty Images

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඊට අමතරව, පිට දඟ පන්දු යවන්නෙකු ලෙස ඔහු කඩුලු 165ක් දවාගෙන තිබේ.

ඔහු, 2004 වසරේදී එංගලන්තයේ පැවති චැම්පියන්ස් කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ජය ගත් කොදෙව් කණ්ඩායමේ සාමාජිකයෙකු විය.

ක්‍රිස් ගේල් ටෙස්ට් තරග 103කට ක්‍රීඩා කර ඇතත්, මෑත කාලීනව ඔහු සීමිත පන්දු වාර තරගවලට වැඩි වශයෙන් ක්‍රීඩා කළේය.

ඔහු පන්දු වාර 20 ක්‍රිකට් තරග සඳහා තවදුරටත් සහභාගි වනු ඇත. කෙසේ වෙතත්, 2020 වසරේදී පැවැත්වීමට නියමිත එංගලන්ත ක්‍රිකට් මණ්ඩලය විසින් පවත්වනු ලබන පළමු පන්දු සියයේ ක්‍රිකට් තරගාවලියට සහභාගි වීමට ගේල් කැමැත්තෙන් පසුවේ.

"ඒ තරගාවලියට සහභාගි වෙන්න නම් එංගලන්තය මට ආරාධනා කරන්න ඕන. එහෙම වුණොත් මම ඒ තරගාවලිය උඩුයටිකුරු කරලා 'ස්තුතියි, දැන් තරුණ ක්‍රීඩකයෙක් ගේන්න' කියලා කියන්න කැමතියි," ඔහු පැවසීය.