අකිල ධනංජයගේ පන්දු යැවීමේ විලාසය නීති විරෝධීයි - අයිසීසී

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිට දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ විලාසය නීති විරෝධී බව ස්වාධීන පරීක්ෂණයක් මගින් තීන්දු කර ඇතැයි අයිසීසී ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළේය.

ඒ හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවල ඔහුගේ පන්දු යැවීම වහා ක්‍රියාත්මක වන පරිදි තහනම් කර ඇති බව එම නිවේදනයේ දැක්වේ.

අදාළ නීතිය මගින් ඉඩ ලබා දී ඇති අංශක 15 ඉක්මවා ඔහු පන්දු යැවීමේ නිරතවන බව පරීක්ෂණයෙන් හෙළි වී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි.

සැකසහිත නීති විරෝධී පන්දු යැවීමේ විලාසයන් වාර්තාවන ක්‍රීඩකයන් සම්බන්ධයෙන් පවතින අයිසීසී නීතිවල 11.1 වගන්තියට අනුව අකිල ධනංජයගේ ජාත්‍යන්තර තහනම ක්‍රියාත්මක වනු ඇත.

අයිසීසීයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මකවන දේශීය ක්‍රිකට් තරග සඳහා ද එය වලංගුවන බව ද නිවේදනයේ දැක්වේ.

කෙසේ නමුත් නීතියේ සඳහන් 11.5 වගන්තියට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහයෙන් පැවැත්වෙන දේශීය තරගවල පන්දු යැවීමට ඔහුට හැකියාව ලැබෙනු ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.

පසුගියදා එංගලන්ත කණ්ඩායම සමග ගාල්ලේ පැවති ටෙස්ට් තරගයේ දී අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් සැක පළ විය. පසුව නොවැම්බර් 23 වෙනිදා බ්‍රිස්බේන්හි පිහිටි ජාතික ක්‍රිකට් මධ්‍යස්ථානයේදී ඔහු ස්වාධීන පරීක්ෂණයකට ලක් විය.

පන්දු යැවීමේ විලාසය වෙනසකට ලක් කර ගැනීමෙන් පසු අකිල ධනංජයට යළි පරීක්ෂණයකට අයදුම් කළ හැකි අතර අදාළ තහනම සම්බන්ධයෙන් ගත හැකි ඉදිරි පියවර පිළිබඳ සොයා බැලෙනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකයෙකු බීබීසී සිංහල සේවයට පැවසීය.