ශ්‍රී ලංකා ක්‍රිකට් : "කියන්න තියෙන්නේ උඩ ඉන්න දෙවියන්ට විතරයි"

අර්ජුන රණතුංග

වර්තමානයේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පසුබෑමට ලක්වීමට තම ආණ්ඩුව වගකිව යුතු බව හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අර්ජුන රණතුංග අමාත්‍යවරයා පවසයි.

කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් අදහස් දැක්වූ අමාත්‍යවරයා, "අපි 2015 ආණ්ඩුව හදපු අවස්ථාවේ ක්‍රිකට්වලින් අපි හොඳ තත්වයක හිටියා. ලෝක ශ්‍රේණිගත කිරීම්වල ටෙස්ට්, තනිදින සහ විස්සයි විස්ස තරගවලදී අප ඉහළ තත්ත්වයක සිටියා," යනුවෙන් සඳහන් කළේය.

"නමුත් අපේ ආණ්ඩුව ආවට පස්සේ අපේ ක්‍රිකට් පරිපාලනය අනවශ්‍ය පුද්ගලයින් අතට යාමේ ප්‍රතිඵලයක් ලෙස අද ක්‍රිකට් ක්‍රීඩාව සම්පූර්ණයෙන්ම කඩා වැටිලා තියෙනවා."

වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයා, "අපි ඇෆ්ගනිස්ථානයටත් පරාජය වන තත්ත්වයකට පත් වෙලා. ක්‍රිකට් ක්‍රීඩාව අද වැටී තියෙන තත්ත්වය ගැන, වැටෙන්න යන තත්ත්වය ගැන මම ඉහළම තැන්වලට කිව්වා. නමුත් ඒ ගැන ඇහුම්කන් දෙන්න කිසිම කෙනකුට කිසිම ඕනකමක් තිබුණේ නැහැ. කිසිම වැඩක් වුණෙත් නැහැ. දැන් ඉතින් මේ ගැන කියන්න වෙන්නේ උඩ ඉන්න දෙවියන්ට විතරයි," යනුවෙන් ද සඳහන් කළේය.

අමාත්‍යවරයා මිට ඉහතදීත් ආණ්ඩුවට මේ ආකාරයෙන් චෝදනා එල්ල කර තිබෙන නමුත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හෝ අගමැති රනිල් වික්‍රමසිංහ ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත.

"අද අපේ ක්‍රිකට් ක්‍රීඩාව බුකී සහ ඔට්ටුකරුන්ගේ ග්‍රහණයට ලක් වෙලා. ඒකට මේ ආණ්ඩුව සහ හිටපු ක්‍රීඩා අමැතිවරයා වගකියන්න ඕන," යනුවෙන් ද වත්මන් ක්‍රිකට් පරිපාලනය ගැන අදහස් දක්වමින් අර්ජුන රණතුංග අමාත්‍යවරයා කියා සිටියේය.

දිගින් දිගටම තමන්ට එල්ලවෙන චෝදනා ගැන අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මිට ඉහතදී බීබීසී සිංහල සේවය සමග කියා සිටියේ, "ඕව ඔක්කොම පරණ කතානේ. ඒ ගැන කීප වතාවක් පරීක්ෂණ සිදු කර තිබෙනවා. මේවා මඩ ව්‍යාපාර," යනුවෙනි.

නිශාන්ත රණතුංග සහ තිලංග සුමතිපාල

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වීම වාරණය කරමින් අධිකරණ නියෝගයක් පනවා තිබේ.

නිලවරණය බ්‍රහස්පතින්දා (මැයි 31) පැවැත්වීමට නියමිතව තිබූ අතර එය වළක්වාලමින් අභියාචනාධිකරණය ලබන ජුනි 14 වෙනිදා දක්වා බලපැවැත්වෙන පරිදි තහනම් නියෝගයක් නිකුත් කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු ලේකම්වරයෙකු මෙන්ම වර්තමානයේ සභාපති ධුරය සඳහා තරග වදින අපේක්ෂකයෙකු වන නිශාන්ත රණතුංග විසින් ගොනුකරන ලද පෙත්සමක් දීර්ඝ ලෙස විභාග කළ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරුවරුන් විසින් මෙම නියෝගය ලබා දෙන ලදි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල එම ධුරය සඳහා යළි තරග කිරීම වළකාලමින් තහනම් නියෝගයක් නිකුත් කරන මෙන් සඳුදා අභියාචනාධිකරණයට ඉදිරිපත් කෙරුණ එම පෙත්සමනේ ඉල්ලා තිබුණි.

ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා, ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා, ක්‍රිකට් නිලවරණ කමිටුවේ සාමාජිකයින් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති තිලංග සුමතිපාල ඇතුළු 27 දෙනෙකු පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණු අතර නිලවරණය පැවැත්වීම සඳහා පත්කොට ඇති නිලවරණ කමිටුව මුළුමනින්ම නීතියට පටහැණි බවද පෙත්සමේ සඳහන් විය.

නිශාන්ත රණතුංග වෙනුවෙන් පෙනී සිටින නීතිඥ මඩුල්ල පවසන පරිදි තිලංග සුමතිපාල සෘජුව සහ වක්‍රව ඔට්ටු ක්‍රීඩාවට සබඳතා පැවතීම, ක්‍රීඩා භාණ්ඩ වෙළඳාම, මාධ්‍ය ආයතනයක කොටස් සතුවීම සහ අයිසීසී ආයතනයේ දූෂණ විරෝධී නීතිවලට පටහැනිව කටයුතු කිරීම ඇතුළු කරුණු ඉහත කී පෙත්සම මගින් පෙන්වා දී ඇත.

පෙත්සම බදාදා විභාගයට ගත් අවස්ථාවේ තිලංග සුමතිපාල වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කරුණු දක්වමින් පැවසුවේ පෙත්සම්කාර පාර්ශවය ඉදිරිපත් කරන තර්ක පදනම් විරහිත බවය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරයට තරග වැදීම සඳහා සිය සේවාදායකයාට කිසිදු ගැටළුවක් නොමැති බැවින් පෙත්සම තුළින් ඉල්ලා ඇති සහන ලබාදීම ප්‍රතික්ෂේප කරන ලෙස එම නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

කෙසේ වෙතත් අදාළ චෝදනා සම්බන්ධයෙන් වැඩිදුරටත් විභාගයක් පැවැත්වීමට අවශ්‍ය බව විනිසුරුවරු තීන්දු කළහ.

ඒ අනුව නිලවරණය වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් පෙත්සම්කාර පාර්ශවය ඉල්ලීමක් කර නොතිබුණ ද අධිකරණයට පැවරි ඇති බලතල ප්‍රකාරව නිලවරණය පැවැත්වීම වැලැක්වීමට පියවර ගන්නා බව ද විනිසුරුවරු නියෝගය ලබාදෙමින් සඳහන් කළහ.

තවත් කියවන්න: