ක්‍රිකට් නිලවරණය: "තිලංග සුමතිපාල තරග කිරීමෙන් වළකාලන්න"

නිශාන්ත රණතුංග

ඡායාරූප මූලාශ්‍රය, Sri lanka Mirror

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල එම ධුරය සඳහා යළි තරග කිරීම වළකාලමින් තහනම් නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

පෙත්සම ඉදිරිපත් කර තිබෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු ලේකම්වරයකු සහ නිලවරණයේදී සභාපති ධුරය සඳහා තරග කරන අපේක්ෂකයෙකු වන නිශාන්ත රණතුංග විසිනි.

ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා, ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා, ක්‍රිකට් නිලවරණ කමිටුවේ සාමාජිකයින් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති තිලංග සුමතිපාල ඇතුළු 27 දෙනෙකු පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

පෙත්සම්කරු සිය පෙත්සමෙන් අධිකරණය හමුවේ කියා සිටින්නේ මැයි 31 වෙනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරය සඳහා තරග කරන වත්මන් සභාපති තිලංග සුමතිපාලගේ නාමයෝජනාව නීතියට පටහැනි බවය.

නිශාන්ත රණතුංග වෙනුවෙන් පෙනී සිටින නීතිඥ මඩුල්ල පවසන පරිදි තිලංග සුමතිපාල සෘජුව සහ වක්‍රව ඔට්ටු ක්‍රීඩාවට සබඳතා පැවතීම, ක්‍රීඩා භාණ්ඩ වෙළඳාම, මාධ්‍ය ආයතනයක කොටස් සතුවීම සහ අයිසීසී ආයතනයේ දූෂණ විරෝධී නීතිවලට පටහැනිව කටයුතු කිරීම ඇතුළු කරුණු ඉහත කී පෙත්සම මගින් පෙන්වා දී ඇත.

Thilanga Sumathipala

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති තිලංග සුමතිපාල නැවත සභාපති ධූරය සඳහා තරග වැදීම පිණිස යෝජනා වී තිබේ

ඒ අනුව තිලංග සුමතිපාල අදාළ තනතුර සඳහා තරග කළහොත් ක්‍රීඩා පනතේ ප්‍රතිපාදන උල්ලංඝනය වන බව පෙත්සම්කරු පවසයි.

නිලවරණය පැවැත්වීම පිණිස පත්කරන ලද කමිටුව නීති විරෝධී බව ද පෙත්සම්කරු පවසයි.

මේ හේතුවෙන් අදාළ පෙත්සම විභාග කොට අවසන් තීරණයක් ලබා දෙන තෙක් තිලංග සුමතිපාල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධූරය සඳහා තරග කිරීම වළකාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන මෙන් පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටී.

කෙසේ නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල ඉහත කී චෝදනා ප්‍රතික්ෂේප කරයි.

ඒ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, "ඕව ඔක්කොම පරණ කතානේ. ඒ ගැන කීප වතාවක් පරීක්ෂණ සිදු කර තිබෙනවා. මේවා මඩ ව්‍යාපාර" යනුවෙනි.

Sri Lanka Cricket

නිශාන්ත රණතුංග විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම ලබන බදාදා (මැයි 30) සලකා බැලීමට අභියාචනාධිකරණය තීන්දු කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නව පරිපාලනයක් පත් කර ගැනීම සඳහා මැයි 31 වෙනිදා පැවැත්වීමට නියමිත නිලවරණය වෙනුවෙන් යෝජනා ඉදිරිපත් කිරීම පසුගිය සතියේ සඳුදා (මැයි 21) අවසන් විය.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති තිලංග සුමතිපාල යළිත් වරක් සභාපති ධුරය සඳහා තරග වැදීම සඳහා ක්‍රීඩා සමාජ ගණනාවක් විසින් නම් කරනු ලැබ තිබේ.

තවත් තොරතුරු: