නිශාන්ත රණතුංග පහර දුන්නා: සුජීව ගොඩලියද්ද

ඡායාරූප මූලාශ්‍රය, SriLankaMirror
- Author, සරෝජ් පතිරණ
- Role, බීබීසී සංදේශය
ලබන ජනවාරි තුන් වැනි දින පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදී නිශාන්ත රණතුංග තමන්ට පහරදුන් බව මාතලේ දිස්ත්‍රික් ක්‍රිකට් සම්මේලනයේ ලේකම්වරයා පවසයි.
නිලවරණයේ සාමාජික ක්‍රීඩා සමාජ සහ සංගම් 15 ක නියෝජිතයන් සම්බන්ධයෙන් පවතින මතභේද නිරාකරණය කිරීම පිණිස ක්‍රීඩා අධ්‍යක්ෂවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදී ඔහු එසේ පහරදුන් බවයි, සුජීව ගොඩලියද්ද සංදේශයට කියා සිටියේ.
එහෙත් එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන නිශාන්ත රණතුංග පවසන්නේ ප්‍රතිවාදී අපේක්ෂකයන්ගේ ආධාරකරුවන් පරාජය හමුවේ 'අභූත චෝදනා' එල්ල කරන බවයි.
මීගමුව ක්‍රීඩා සමාජයේ සාමාජිකයන් නොවන අර්ජුන රණතුංග අමාත්‍යවරයා සහ හිටපු සභාපති උපාලි ධර්මදාස එහි නියෝජිතයන් වශයෙන් නම් කිරීමට එරෙහිව ක්‍රීඩා සමාජයේ ලේකම් යූස්ටස් ප්‍රනාන්දු කරුණු දැක්වීමට නැගී සිටි අවස්ථාවේ එම පහරදීම සිදු වූ බවයි සුජීව ගොඩලියද්ද පවසන්නේ.

යූස්ටස් ප්‍රනාන්දුගේ කරුණු දැක්වීම වැළැක්වීමට නිශාන්ත රණතුංග ඇතුළු පිරිසක් උත්සාහ කළ අවස්ථාවේ තමන් එයට විරෝධය පෑම පහරදීමට හේතු වූ බවත් ඔහු සඳහන් කළේය.
ඒ අවස්ථාවේ තමන්ද සිය ආරක්ෂාව වෙනුවෙන් පෙරලා පහර දුන් බව පවසන සුජීව ගොඩලියද්ද සිදුවීම පිළිබඳව පොලිසියට කටඋත්තරයක් ලබා දෙන බවත් පැවසීය.
සභාපති අපේක්ෂකයකු පරුෂ වචනයෙන් බැන වැදුණු බවට සහ පහරදීමක් පිළිබඳව පැමිණිල්ලක් ලැබී තිබෙන බව පොලිස් ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර බීබීසී සංදේශයට කළ විමසීමකදී සනාථ කළේය.
ප්‍රචණ්ඩ නිලවරණයක්?
කොළඹ ක්‍රිකට් සමාජයේ ලේකම් අරුණ විජය ද සිල්වා විසින් කුරුඳුවත්ත පොලිසියට ඉදිරිපත් කළ පැමිණිල්ල පිළිබඳව පැමිණිලිකරු සහ චුදිත සභාපති අපේක්ෂකයාගෙන් කටඋත්තර සටහන් කරගත් බවත් ඔහු පැවසීය.
ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරුන් වන ජයන්ත ධර්මදාස සහ නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල නිලවරණයේ අනෙක් සභාපති අපේක්ෂකයන් දෙදෙනායි. තිලංග සුමතිපාල සහ ප්‍රතිවාදී පිලෙන් උප සභාපති පදවියට තරඟ කරන අර්ජුන රණතුංග දෙදෙනාම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සමීපම ආධාරකරුවන්.

ඡායාරූප මූලාශ්‍රය, Thilanga Sumathipala
ගැටුම පිළිබඳව සංදේශය කළ විමසීමකදී නිශාන්ත රණතුංග කියා සිටියේ සිය ප්‍රතිවාදී සභාපති අපේක්ෂකයන් වන තිලංග සුමතිපාල සහ ජයන්ත ධර්මදාස දැනටමත් පරාජය පිළිගෙන ඇති බවයි.
"මේ ඡන්දයට මුහුණ දෙන්න බැරිව සාමාජිකත්වයේ අප්‍රසාදය ඇතිවෙලා තියෙන වෙලාවක ඔවුන් උත්සාහ කරනවා අපි ගැන විවිධ චෝදනා දාල අපහාසයට පත්කරන්න," නිශාන්ත රණතුංග පැවසීය.
සාමාජිකයන් හතලිස් දෙනකු පමණ මේ අවස්ථාවට සහභාගි වූ බැවින් එවැන්නක් සිදු වූයේ නම් ඔවුන් එය දැනසිටිය යුතු බවද ඔහු පැවසීය.
නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාලට සහාය දෙන තමා මාතලේ ක්‍රිකට් සම්මේලනයේ ලේකම් පදවියට පත්වීම සම්බන්ධයෙන් නිශාන්ත රණතුංග ප්‍රබල විරුද්ධත්වයක් පළ කළ බව පවසන සුජීව ගොඩලියද්ද, ඒ විරෝධය හමුවේ තමන් දැන් පදවිය දරන්නේ අධිකරණ නියෝගයක් ප්‍රකාර බවත් සඳහන් කළේය.
"මම බොහොම කණගාටු වෙනව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරයට තරඟ වදින පුද්ගලයෙක් ඒ විදියට හැසිරීම පිළිබඳව."
පහරදීමක් සිදුවුවත්, නොවුවත් අතීතයේ පැවති ක්‍රිකට් නිලවරණ මෙන් මෙවර නිලවරණයත් නිදහස් හා සාමකාමීව පැවැත්වෙනු වෙනුවට දැඩි ප්‍රචණ්ඩ ස්වරූපයක් ගැනීමේ ඉඩකඩ මේ මගින් පැහැදිලි වන්නේ නොවේදැයි විමසූ අවස්ථාවේ නිශාන්ත රණතුංග සඳහන් කළේ එවැන්නක් වැළැක්වීම ක්‍රිකට් පරිපාලනය භාරගැනීමට බලාපොරොත්තුවන පුද්ගලයන්ගේ වගකීම බවයි.
වැඩිදුර කරුණු විමසීම පිණිස ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් කේඩී රුවන්චන්ද්‍ර සහ නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල ඇමතීමට සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.



























