එක්දින නව නායකයා මැතිව්ස්ද ? චන්දිමාල්ද?

ඇන්ජලෝ මැතිව්ස් සහ සනත් ජයසූරිය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇන්ජලෝ මැතිව්ස් සහ සනත් ජයසූරිය

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් හෝ වත්මන් ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් අතරින් කෙනෙකු පත් කෙරෙනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල එම් ප්‍රකාශය කළේ ක්‍රිකට් තේරීම් කමිටුව සමඟ ඊයේ (ජනවාරි 03) පැවැත්වූ සාකච්ඡාවෙන් අනතුරුවය.

එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නව නායකයා කවුරුන්ද ?යන්න ජනවාරි නව වෙනිදා නිවේදනය කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ශ්‍රී ලංකා පිලේ ඉන්දීය සංචාරයේ දී එක්දින හා 'විස්සයි විස්ස' නායකයා ලෙස තිසර පෙරේරා කටයුතු කළ අතර, එක්දින කණ්ඩායම තුළ ඔහුගේ ස්ථානය ගැන ඇති ගැට‍ළු හේතුවෙන් ඔහු ඉන් ඉවත් කිරිමට තීරණය කර ඇත.

ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල්
ඡායාරූප ශීර්ෂ වැකිය, ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල්

2019 පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරඟාවලිය තෙක් එක් නායකයකු යටතේ තරඟ කළ යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු චන්දික හතුරුසිංහගේ අදහසයි.

ඇන්ජලෝ මැතිව්ස් එක්දින හා 'විස්සයි විස්ස' නායකයා ලෙස පත් කිරීමට යෝජනා වී තිබෙන්නේ එම තේරුම් ගැනීම අනුවය.

පුහුණුකරු චන්දික හතුරුසිංහගේ ඉල්ලීම අනුව නායකත්වය නැවත භාර ගැනීම පිළිබඳව සලකා බැලීමට මැතිව්ස් එකඟ වී තිබෙන බව වාර්තා වෙයි.

පසුගිය වසරේ ජුනි මාසයේ ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයෙන් ඉවත් වීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම තුළ නායකත්ව අර්බුදයක් මතු විය.

කෙසේ වෙතත්, මැතිව්ස් දිගින් දිගටම ආබාධවලට ලක් වීම ඔහු යළිත් නායකයා බවට පත් කිරීම අතින් ප්‍රධානතම ගැටලුව වී පවතී.

මේවන විටත් ආබාධ තත්වයේ පසු වන මැතිව්ස් ජනවාරි අට වැනිදා ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකට ලක් කෙරෙනු ඇත.

නව පුහුණුකරු චන්දික හතුරුසිංහ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, නව පුහුණුකරු චන්දික හතුරුසිංහ

ඉදිරි බංගලාදේශ් තරඟාවලියට ඔහුගේ සහභාගිත්වය තීරණය වන්නේ එහි ප්‍රතිඵල අනුවයි.

ඇන්ජලෝගේ ආබාධ හේතුවෙන් ඔහු නායකත්වයට පත් කිරීමට නොහැකි වුවහොත් ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් වෙත එක්දින කණ්ඩායමේ නායකත්වයත් පැවරීමට යෝජනා වී ඇත.

දිනේෂ් චන්දිමාල් එක්දින තරඟ වලදී දිගින් දිගටම අසාර්ථක වී ඇති අතර ඔහුට එම කණ්ඩායමේ ස්ථානයද අහිමි වී ඇත.

කෙසේවුවද, ලබන අටවෙනිදා පැවැත්වීමට නියමිත ඇන්ජලෝ මැතිව්ස්ගේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව ඊළඟ එක්දින ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයා කවුදැයි තීරණය වනු ඇත.

ඉන්දියානු සංචාරයට නායකත්වය දුන් තිසර පෙරේරාට කණ්ඩායම තුළ ස්ථානය අහිමි වී ඇත

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉන්දියානු සංචාරයට නායකත්වය දුන් තිසර පෙරේරාට කණ්ඩායම තුළ ස්ථානය අහිමි වී ඇත

තවත් තොරතුරු;