චන්දික හතුරුසිංහ : නව ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු නම් කෙරේ

චන්දික හතුරුසිංහ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ පත්කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

ඒ අනුව ලබන දෙසැම්බර් 20 වෙනි දින ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ධුරයේ රාජකාරි ආරම්භ කරනු ඇති බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

ඒ අනුව ලබන ජනවාරි මාසයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ බංගලාදේශ සංචාරය, හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ බංග්ලාදේශ කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු වන චන්දික හතුරුසිංහ යටතේ ශ්‍රී ලංකාව මුහුණ දෙන පළමු සංචාරයය.

බංගලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාර්ථකම පුහුණුකරු ලෙස සැළකෙන ඔහු පසුගිය නොවම්බර් මාසයේ එම තනතුරින් ඉල්ලා අස් විය.

වීඩියෝ ශීර්ෂ වැකිය, බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුකරු ලෙස කොළඹදී මාධ්‍ය අමතන හතුරුසිංහ

ශ්‍රී ලංකාව විසින් වැඩිම මුදලක් ගෙවා ලබා ගන්නා ක්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහ වනු ඇති බව මාධ්‍ය වාර්තාවල දැක්වේ.

"අපි එතුමාට කිව්වේ 2019 වෙනකම් වගකීම් භාරගෙන වැඩ කරන්න කියලයි. වැටුප ගැන එතුමා කිව්වා-ඔහු එතරම් මුදලක් ගැන හිතන්නේ නැහැයි කියලා," පසුගියදා මාධ්‍ය හමුවකදී ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පැවසීය.

"රට වෙනුවෙන් වැඩ කොටසක් කරන්න තියෙනවා කියලයි එතුමා කිව්වේ. එතුමා දැනට ඩොලර් 40,000 ක් වගේ වැටුපක් ගන්නවා. ඒ වැටුප පැත්තකින් තියලා අභියෝග මැද අපේ ක්‍රීඩකයන් බාර ගැනීම ගැන අපි එතුමාට අපේ ගෞරවය පුද කළ යුතුයි."

චන්දික හතුරුසිංහ සමග බංගලාදේශයේ පිතිකරු පුහුණුකරු ලෙස කටයුතු කළ තිලාන් සමරවීර දැනටමත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු පුහුණුකරු තනතුරේ කටයුතු කරමින් සිටියි.

වීඩියෝ ශීර්ෂ වැකිය, හතුරුසිංහ ගැන දයාසිරිගෙන්

චන්දික හතුරුසිංහ මීට ඉහතදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරු පුහුණුකරු ලෙස කටයුතු කර තිබෙන අතර 2010 දී එවකට කණ්ඩායමේ නායකය වූ කුමාර් සංගක්කාරගේ විරෝධය ද නොතකා ඔහු එම තනතුරින් ඉවත්කිරීමට එවකට ක්‍රිකට් බලධාරීන් කටයුතු කර තිබුණි.

හතුරුසිංහ සහ බංග්ලාදේශ කණ්ඩායම ගැන තවත් වාර්තා: