ලෝක පැරා මලල ක්‍රීඩා: ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්

දිනේෂ් ප්‍රියන්ත, ඉන්දියාවේ ගුර්ජාර් සුන්ඩර් සිං සහ ජපානයේ යමසාකි අකිහිරෝ සමග

ඡායාරූප මූලාශ්‍රය, Lynne Cameron/ getty images

ඡායාරූප ශීර්ෂ වැකිය, දිනේෂ් ප්‍රියන්ත හේරත්, ඉන්දියාවේ ගුර්ජාර් සුන්ඩර් සිං සහ ජපානයේ යමසාකි අකිහිරෝ සමග

මේ දිනවල බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අගනුවර පැවැත්වෙන වූ ලෝක පැරා මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවේ පැරා හෙල්ල විසිකිරීමේ ශූරයා වන දිනේෂ් ප්‍රියන්ත හේරත් ටී46 කාණ්ඩයේ රිදී පදක්කම ජය ගත්තේය.

ලන්ඩන් පැරාඔලිම්පික් ක්‍රීඩාංගනයේ ආරම්භ වූ තරගයේදී දිනේෂ් ප්‍රියන්ත මීටර් 57.93ක දුරක් හෙල්ල විසි කරමින් රිදී පදක්කම දිනාගැනීමට සමත්විය.

ඉන්දියාවේ ගුර්ජාර් සුන්ඩර් සිං රන් පදක්කම (මීටර්60.36) දිනාගත් අතර, ලෝකඩ පදක්කම ජපානයේ යමසාකි අකිහිරෝට (මීටර්53.55) හිමි විය.

පසුගිය සිකුරාදා (ජුලි 14) ආරම්භ වී ජුලි 23 වෙනි ඉරිදා දක්වා පැවැත්වෙන ලෝක ශූරතාවලියේදී රන් පදක්කම් 6 ක් ඇතුළු පදක්කම් 12 ක් දිනාගෙන සත්කාරන බ්‍රිතාන්‍යය මේ වනවිට තරගාවලියේ ඉදිරියෙන්ම සිටියි.

මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදය දෙවැනි ස්ථානයේ පසුවන අතර, තුන් වෙනි ස්ථානය හිමි වී තිබෙන්නේ ටියුනීසියාවටය.

දිනේෂ් ප්‍රියන්ත

ඡායාරූප මූලාශ්‍රය, Lynne Cameron/getty images

රටවල් 91 ක් නියෝජනය කරමින් ඉසවු 213 ක් සඳහා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1074 ක් එයට එක් වී සිටිති.

පසුගිය ජුලි 06 වෙනි දින වනවිට තරගාවලිය නැරඹීම සඳහා ප්‍රවේශපත්‍ර 230,000 ක් විකිණී තිබූ අතර, ලෝක පැරා මලල ක්‍රීඩා තරගාවලියේ එතරම් ප්‍රවේශපත්‍ර සංඛ්‍යාවක් අලෙවි වූ පළමු වතාව මෙයය.

2016 දී බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නගරයේදී පැවැති පැරාලිම්පික් තරඟාවලියේදී ටී46 කාණ්ඩයේ හෙල්ල විසිකිරීමේ රිදී පදක්කම ජයග්‍රහණය කරමින් දිනේෂ් ප්‍රියන්ත හේරත් ශ්‍රී ලංකාවට පළමු පැරාලිම්පික් පදක්කම අත්කර දුන්නේය.

ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුවේ සෙබළෙකු වූ දිනේෂ් ප්‍රියන්තගේ පාදයකට වෙඩි වැදීමෙන් ලත් තුවාල හේතුවෙන් ඔහු ටී46 කාණ්ඩයේ (දණ හිසෙන් පහල පාදය අප්‍රාණික හෝ අහිමි) වර්ගීකරණය යටතේ මලල ක්‍රීඩා තරඟවලට එක්විය.

ජාතික හෙල්ල විසිකිරීමේ පුහුණුකරු වන ප්‍රදීප් නිශාන්ත ඔහුගේ පුහුණුකරුවාය.