
ලන්ඩන් පැරා ඔලිම්පික් තරඟාවලියේ දී මුලින්ම තරඟ වැදුණු ශ්‍රී ලාංකිකයා අමරා ඉන්දුමතී කරුණාතිලකයි
ආබාධිත ඔලිම්පික් තරඟාවලියක දී ශ්‍රී ලංකාව නියෝජනය කරන ප්‍රථම ක්‍රීඩිකාව සිය මංගල තරඟයෙන්ම පරාජය වූවත්, (T 46) මීටර 200 ඉසවුවෙන් සිය ක්‍රීඩා ජීවිතයේ උපරිම දක්ෂතාවය දැක්වීමට ඇය සමත් වූවාය.
එය තමා ලැබූ විශාල ජයග්‍රහණයක් බවයි, අමරා ඉන්දුමතී කරුණාතිලක පවසන්නේ.
"මම මීට කලින් මීටර 200 දුවල තියෙන්නේ තත්පර 29.56 කට, ඒ වුනාට අද මම මේ මීට් එකේ 29.36 කට දිවුවා ඒ වුනාට වසන් තරඟයට සුදුසුකම් ලබන්න මට බැරිවුනා," බවයි තරඟයෙන් අනතුරුව අමරා ඉන්දුමතී කරුණාතිලක බීබීසී සංදේශයට කියා සිටියේ.
පැරා ඔලිම්පික් තරඟයත් සමඟම ක්‍රීඩා ජීවිතයේ නව අභියෝග රැසකට මුහුණ දෙමින් සිටින බව පවසන ඇය, ඉදිරියටත් ඔලිම්පික් තරඟවලට සහභාගී වීම තම බලාපොරොත්තුව බව ද පවසන්නීය.
"මේක මගේ ජීවිතයට ලොකු අභියෝගයක්. ඒ වුනාට ඒ අභියෝගය මම භාරගත්තා. මින් ඉදිරියට ඊට වැඩිය හොඳ ටයිමින් එකක් හදාගෙන ජයග්‍රහණය ලබන්නම පුහුණුවීම් කරන්න බලාපොරොත්තු වෙනවා," අමරා ඉන්දුමතී වැඩිදුරටත් සඳහන් කළාය.
සත් දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් පැරා ඔලිම්පික් තරඟාවලියේ දී මුලින්ම තරඟ වැදුනේ අමරා ඉන්දුමතී කරුණාතිලකයි. මීටර 100 කෙටි දුර ධාවන තරඟවලට ද ඇය සහභාගී වීමට නියමිතයි.
ප්‍රථම වරට පැරා ඔලිම්පික් තරඟාවලියකට එක්වූ ක්‍රීඩිකාව ලබාදුන් පන්නරය සමස්ත ශ්‍රී ලංකා කණ්ඩායමට දිරි දීමක් බවයි, ඒ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා ස්පෝර්ට්ස් වෙබ් අඩවියේ මාධ්‍යවේදී හිෂාන් වැල්මිල්ල සංදේශයට කියා සිටියේ.
දුර පැනීමේ අංශයෙන් දුමීර මධුරංග (F 42 සහ F 44) කාණ්ඩවලින් අවසාන වටයේ තරඟවලට ද ප්‍රදීප් සංජය මීටර 200 (T 46) කාණ්ඩයෙන් මූලික වටයේ තරඟවලට ද සිකුරාදා රාත්‍රියේ සහභාගී වීමට නියමිතයි.












