සමාජයේ මෙන්ම ආබාධිතයන්ගේත් 'ආකල්ප වෙනසක් අවශ්‍යයි'

එන්න අපිත් එක්ක එකතුවෙන්න. අපිට එකතුවෙලා ලොකු ජයග්‍රහණ ලබාගන්න පුළුවන්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, එන්න අපිත් එක්ක එකතුවෙන්න. අපිට එකතුවෙලා ලොකු ජයග්‍රහණ ලබාගන්න පුළුවන් - පැරාලිම්පික් පදක්කම් ලාභී දිනේෂ් ප්‍රියන්ත හේරත්

ආබාධිත පුද්ගලයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සමාජය දක්වන ආකල්ප වෙනස් විය යුතු අතරම ආබාධිත පුද්ගලයන් තුළත් දැනට වඩා සාධනීය වෙනසක් සිදු විය යුතු බව පැරා ඔලිම්පික් කමිටුවේ සාමාජිකාවක් පවසයි.

ශ්‍රී ලංකා පැරා ඔලිම්පික් කමිටුවේ සාමාජිකා නාලිනී රණසිංහ බීබීසී සිංහල සේවය හා සාකච්ඡාවකට එක්වෙමින් ඒ බව කියා සිටියේ ජාත්‍යන්තර ක්‍රීඩා පිටිය ජය ගනුවස් තමන් සමග එක් වන ලෙස ආබාධිත ක්‍රීඩිකාවන්ට ආරාධනයක් ද කරමිනි.

විශේෂයෙන් පිහිනුම්, බර ඉසිලීම සහ දුනු විදීම යන ඉසව් සඳහා ආබාධිත ක්‍රීඩිකාවන් ඉදිරිපත් වීමේ අඩුවක් දක්නට ඇති බවත් ඇය සඳහන් කළාය.

"තරග සඳහා සහභාගි වන ලෙස අප විසින් කරන ලද ඉල්ලීමට පුරුෂ පක්ෂයෙන් වැඩි ප්‍රතිචාරයක් ලැබී තිබෙනවා. තරගවලට කාන්තාවන් වැඩි වශයෙන් සහභාගි කර ගැනීම සඳහා ඔවුන් දිරිගන්වන්න අපි බලාපොරොත්තු වෙනවා." ඇය පැවසුවාය.

මේ අතර ආබාධිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් සම්බන්ධයෙන් සමාජය තුළ අවතක්සේරුවක් පවතින බවත් ඇය කියා සිටියාය.

"පසුගිය පැරා ඔලිම්පික්‌ ශූරතා දෙකේදීම ආබාධිත ක්‍රීඩකයන් පදක්කම් දිනාගත්තා. නමුත් සමාජය තුළ ඔවුන්ට නිසි පිළිගැනීමක් තිබුණ නැහැ. ඒ කියන්නේ සාමාන්‍ය ක්‍රීඩකයන් පදක්කම් දිනුවාට පසුව ලැබෙන පිළිගැනීම ඔවුන්ට ලැබුණේ නැහැ. සමාජය තුළ ආබාධිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ අවතක්සේරුවක් තිබෙන්නේ. මේ ආකල්පය වෙනස් විය යුතුයි." ඇය පැවසුවාය.

මේ අතර ආබාධිත පුද්ගලයන් ද සමාජ ගතවීමට දක්වන අකමැත්ත ඔවුන්ගේ අනාගත අභිවෘද්ධියට බාධාවක් වී ඇති බවත් ශ්‍රී ලංකා පැරා ඔලිම්පික් කමිටුවේ සාමාජිකා නාලිනී රණසිංහ පෙන්වා දෙයි.

2018 වසරේ පැවැත්වීමට නියමිත ආසියානු ශූරතාවලිය ඉලක්ක කර ගනිමින් ආබාධිත තරුණ තරුණියන්ට වඩාත් හොඳ පුහුණුවක් ලබා දීමට සිය ආයතනය බලාපොරොත්තුවෙන් සිටින බවත් ඇය වැඩිදුරටත් කියා සිටියාය.