ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ක්‍රිකට්: බංග්ලාදේශයට ආයෙත් පැරදුණේ ඇයි?
කාසියේ වාසිය දිනා තිබියදී ප්‍රතිවාදීන්ට පන්දුවට පහරදීමට අවස්ථාව සලසා දීම සහ දුර්වල පන්දු රැකීම ඊයේ (මාර්තු 25) ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශ කණ්ඩායමට පරාජය වීමට ප්‍රධාන හේතු වූ බව ක්‍රිකට් විචාරක රොෂාන් අබේසිංහ පවසයි.
ඊයේ පැවති තරඟයේ දී ශ්‍රී ලංකාවේ පරාජයට හේතුවූ කරුණු පිළිබඳව බීබීසී සිංහල සේවය සමග දීර්ඝ සංවාදයක යෙදෙමින් ඔහු ප්‍රකාශ කළේ තරඟයේ පළමු ඉනිමේ අවසන් ඕවර දහයේදී බංග්ලාදේශ කණ්ඩායමට පීඩනයක් එල්ලකළ හැකි මට්ටමේ පන්දු යවන්නන් ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතිරි වී නොසිටි බවය.
අත්දැකීම් අඩු ලහිරු කුමාරගේ යැවූ පන්දුවාර වලදී බංග්ලාදේශ කණ්ඩායම වේගයෙන් ලකුණු රැස්කිරීමට සමත් වූ ආකාරය ඔහු උදාහරණ ලෙස පෙන්වා දුන්නේය.
කණ්ඩායමේ සංයුතිය ක්‍රීඩා ලෝලීන්ගේ විවේචනයට ලක්වී තිබීම පිළිබඳව මතු කළ ප්‍රශ්ණයට පිළිතුරු දෙමින් රොෂාන් අබේසිංහ පවසා සිටියේ ප්‍රථම පෙළේ දඟ පන්දු යවන්නෙක් නොසිටීම කණ්ඩායමේ සංයුතියේ විශාල අඩුපාඩුවක් බවය.
"සචිත් පතිරණ ගත්තත් ඔහු ප්‍රථම පෙළේ දඟ පන්දු යවන්නෙක් නොවෙඅබේසිංහයි. මිලින්ද සිරිවර්ධන ප්‍රථම පෙළේ දඟ පන්දු යවන්නෙක් නොවෙයි. ධනංජය සිල්වාත් ඒ ආකාරයේමයි. ඉතිං ශ්‍රී ලංකා කණ්ඩායමට නොහැකි වුණා වමතින් පහරදෙන බංග්ලාදේශ පිතිකරුවන් මෙල්ල කරන්නට," යනුවෙන් පැවසූ රොෂාන් අබේසිංහ පිට දඟ පන්දු යවන්නෙක් නොසිටීමේ අඩුව පෙන්වා දුන්නේය.
අවශ්‍ය තරම් දඟ පන්දු යවන්නන් ශ්‍රී ලංකාවේ සිටින බව පෙන්වා දුන් ප්‍රවීණ ක්‍රීඩා විචාරක රොෂාන් අබේසිංහ ක්‍රීඩා කණ්ඩායම තේරීමේදී අනුගමනය කළ උපාය මාර්ග ඊයේ දඹුල්ල සාර්ථක වී නැති බව පැවසීය.
මේ අතර පසුගියදා බීබීසී සිංහල සේවය සමග අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු පාලක මණ්ඩලයේ හිටපු සභාපති සිදත් වෙත්තමුණි, ශ්‍රී ලංකාව බංග්ලාදේශයට පරාජයවීම අහඹු සිදුවීමක් නොවන බව පෙන්වා දුන්නේය.
මෙය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්ෂේත්‍රය මුහුණ දෙමින් සිටින බරපතල අර්බුදයක් බව පවසන ඔහු, ක්‍රීඩාව දියුණු කිරීම සඳහා පළමු පෙළ ක්‍රිකට් සංයුතිය පූර්ණ ප්‍රතිශෝධනයකට ලක්කිරීමේ අවශ්‍යතාවය පෙන්වාදෙයි.
ඒ පිළිබඳව විමසූ අවස්ථාවේ රොෂාන් අබේසිංහ සඳහන් කළේ, ක්‍රීඩාව දියුණු කිරීම සම්බන්ධයෙන් විවිධ පරිපාලකයන් විවිධ අදහස් දරන බවයි.
පළමු පෙළ ක්‍රිකට් සංශෝධනය කිරීමේ යෝජනාව පිළිබඳව විමසීම පිණිස කීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ඇමතූ අවස්ථාවේ ඔහු විදේශගතව සිටින බව දැනගැනීමට ලැබුණි.