'මන්ත්‍රීවරියන් විදිහට අපි කොහොමද මන්ත්‍රීවරුන්ගේ කටවල් වහන්නේ ?' - චමීන්ද්‍රානි කිරිඇල්ල

ඡායාරූප මූලාශ්‍රය, FACEBOOK
මෙරට සමාජය තුළ මෙන්ම, සමාජය මාධ්‍ය තුළ කාන්තාවන් විවිධ ආකාරයේ හිංසාවන්ට මෙන්ම අපහාසයන්ට ලක්වීමේ සිද්ධියේ සුලබ ලෙස අසන්නට දකින්නට ලැබේ.
ඉන් නොනැවතිනු කාන්තාවන්ට එරෙහි හිංසා අපහාස කිරීම් මෑත දී පාර්ලිමේන්තුව දක්වාම ගොස් ඇති අවස්ථා කිහිපයක්ම වාර්තා විය.
එසේ වාචික හිංසාවට කිහිප වරක් පාර්ලිමේන්තුව තුළ දී මුහුණ දුන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්නට නැවත වරක් එවන් සිදුවීමකට පාර්ලිමේන්තුව තුළ දී මුහුණදීමට සිදුවීම තුළින් මෙරට කාන්තාවන් සම්බන්ධයෙන් ඇති ඒකාකෘතීන් පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකි ය.
'මගේ කණ්ඩායමේ මන්ත්‍රීවරියකට අපහාස කරන එක සුදුසු නෑ'
ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ පසුගිය පෙබරවාරි 22වන දින අයවැය දෙවන වර කියවීමේ විවාදය අතරතුර දී නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ, ඔහුගේ අදහස් දැක්වීමේදී පහත ප්‍රකාශය සිදු කළේ ය.
"පෙරේදා පත්තරේ මම දැක්කා නම වෙනස් කරපු දැන්වීමක්, රෝහිණි කවිරත්න වන මම අද දින සිට රෝහිණි ළමාරත්න යනුවෙන් වෙනස් කරන බවට ලංකාවේ සැමට දැනුම් දෙමි කියලා. ඒ ළමාරත්න කියපු කතාවක් කියන්නද, එයා කියනවා ලංකාවේ ස්ටේෂන් ඔක්කොටම පොඩි ගාණයි තඹුත්තේගමට ලොකු ගාණයි."
එම අවස්ථාවේදී ම එම ප්‍රකාශයට විරෝධය පළ කළ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා, එම ප්‍රකාශයෙන් තම පක්ෂයේ පාර්ලිමේන්තු නියෝජිතවරියක් වන රෝහිණි කවිරත්නට අපහාසයක් සිදුවන බවට ඒ මොහොතේ දී පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේ ය.
මේ සම්බන්ධයෙන් නලින් හේවගේ නියෝජ්‍ය අමාත්‍යවරයා සහ හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා අතර වචන හුවමාරුවක් සිදුවූ අතර එම ප්‍රකාශය ඉල්ලා අස්කරගන්නා ලෙස හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා අවධාරණය කළේ ය.
"මගේ කණ්ඩායමේ මන්ත්‍රීවරියකට අපහාස කරන එක සුදුසු නෑ. රෝහිණි කවිරත්න කියලා අපි කවුරුත් දන්නේ අපේ ගරු රෝහිණි කවිරත්න මන්ත්‍රීතුමිය මාතලේ දිස්ත්‍රික්කයේ. කරුණාකරලා ඉල්ලා අස්කරගන්න," ඔහු පැවසුවේ ය.
'හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරගන්න, ඒක ප්‍රශ්නයක් නැහැ'
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
මෙම සංවාදයට ඒ මොහොතේ පාර්ලිමේන්තු කතානායක අසුනේ මුලසනාරූඬ ව සිටි මන්ත්‍රීවරයා මැදිහත් වූ අතර එම ප්‍රකාශය හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කිරීමට අවශ්‍ය නම් කතානායකවරයා සමග සාකච්ඡා කරන බව පැවසීය.
කෙසේ වෙතත් මෙම උණුසුම් විවාදය මැද නැගී සිටි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේ, "අපේ නලින් හේවගේ නියෝජ්‍ය ඇමැතිතුමා කියපු ප්‍රකාශයෙන් රෝහිණි කවිරත්න මන්ත්‍රීතුමියට යම් අගතියක් සිදුවුණා නම් එය හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරගන්න, ඒක ප්‍රශ්නයක් නැහැ," යනුවෙන් ය.
"අන්න මිනිස්සු, වැදගත් මිනිස්සු," යැයි එම මොහොතේ දී ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා නලින්ද ජයතිස්ස ඇමැතිවරයාගේ ප්‍රකාශයට ප්‍රතිචාර දැක්වීය.
අගමැතිවරියක් පත් කරමින්, ඉතිහාසයේ වැඩිම කාන්තා නියෝජනයක් පාර්ලිමේන්තුවට පත් කරගන්නා ලද වත්මන් ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමැතිවරයෙකු විසින් කාන්තාවක් අරභයා කරන ලද ප්‍රකාශය සමාජ මාධ්‍ය තුළ දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක් කර තිබෙනු දැකගත හැකි විය.
කෙසේවෙතත් ආණ්ඩුව පාර්ශවයෙන් නලින් හේවගේ නියෝජ්‍ය අමාත්‍යවරයා කරන ලද ප්‍රකාශයට විරෝධය ප්‍රකාශ කිරීමක්, සමාව ගැනීමක් හෝ කණගාටුව පළ කළ බවක් දැනගන්නට නැතත් ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරියක විසින් මෙම සිදුවීම අනුමත නොකරන බව පෞද්ගලිකව දන්වමින් ෆේස්බුක් සටහනක් යොදනු ලැබ තිබේ.
ආණ්ඩුවේ මන්ත්‍රීවරියගේ සහ අගමැතිනියේ ප්‍රකාශය

ඡායාරූප මූලාශ්‍රය, FACEBOOK| Screenshot
මෙම සිදුවීම සිදුවන අවස්ථාවේදී පාර්ලිමේන්තු සභා ගර්භයේ නොසිටි බව පවසමින් ආචාර්ය කෞශල්‍ය ආරියරත්න මන්ත්‍රීවරිය තම පක්ෂයේ නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ විසින් කරන ලද ප්‍රකාශයට විරුද්ධත්වය පළ කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබා තිබේ.
ස්ත්‍රීවාදී මූලධර්ම වෙනුවෙන් පෙනී සිටින කාන්තාවක් ලෙස එම ප්‍රකාශය අනුමත කළ නොහැකි බව මන්ත්‍රීවරිය සිය සටහනින් අවධාරණය කර තිබේ.
"අද මම සභා ගර්භයේ සිටියේ නැහැ. කතා අතරතුර විපක්ෂ මන්ත්‍රීවරියක සම්බන්ධයෙන් 'පාර්ලිමේන්තු විරෝධී' භාෂාව භාවිතා කිරීම ගැන මම පසුව දැන ගත්තා. ස්ත්‍රීවාදී මූලධර්ම වෙනුවෙන් ස්ථිරව පෙනී සිටින කාන්තාවක් ලෙස, පාර්ලිමේන්තුවේ සිදු වූ දේ මට පෞද්ගලිකව අනුමත කළ නොහැකියි."
"අපි මෙහි සිටින්නේ සුපිළිපන්බව, ගෞරවය සහ අප දිගු කලක් සටන් කළ වටිනාකම් තුළ මුල් බැසගත් දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීමටයි. මෙම මූලධර්ම කෙරෙහි මගේ කැපවීම කිසිදා නොවූ තරම් ශක්තිමත්ව පවතියි."
පෙබරවාරි 23 දිනයේ දී එම සිදුවීම පිළිබඳව මාධ්‍යවේදියෙකු නැඟු පැනයකට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙලෙස පිළිතුරු දුන්නා ය.
"මම හිටියේ නැහැ ඒ අවස්ථාවේ පාර්ලිමේන්තු සභා ගර්භය තුළ, නමුත් අපේ නලින්ද ජයතිස්ස ඇමැතිවරයා වහාම ඒක ප්‍රතික්ෂේප කළා. ඒක නිවැරදි කරන්න ඔහු මැදිහත් වුණා. ඒක ගැන මම සතුටු වෙනවා මොකද ඒකෙන් පෙන්නුම් කරනවා ආණ්ඩුව අපේ පැත්තෙන් මොකක් හරි වැරැද්දක් වුණත් ඒක වෙනස් කරන්න අපි මැදිහත් වෙනවා කියන එක ඔහු පෙන්නුම් කළා."
'මම පත්තරේ දාලා නම වෙනස් කරගත්තේ නැහැ මහත්තයෝ'

ඡායාරූප මූලාශ්‍රය, FACEBOOK
මෙම සිදුවීම සම්බන්ධව සමාජ මාධ්‍ය ඔස්සේ රෝහිණි කවිරත්න මන්ත්‍රීවරිය අදහස් දක්වා තිබුණි.
"උප්පැන්න සහතිකයේ මගේ දෙමව්පියෝ දාපු නම තමයි තියෙන්නේ, රෝහිණි කුමාරි විජේරත්න. ඒ ලස්සන නම ඉස්සරහට 1994 මගේ විවාහයෙන් පස්සේ එකතු වෙනවා කවිරත්න කියන එක. එහෙම මිසක මම පත්තරේ දාලා නම වෙනස් කරගත්තේ නැහැ මහත්තයෝ," ඇය සඳහන් කර තිබුණි.
නලින් හේවගේ නියෝජ්‍ය අමාත්‍යවරයා මීට ඉහත දී කාන්තාවන්ට කරන ලද අපහාස ද මන්ත්‍රීවරිය එහිදි සිහිපත් කර තිබුණි.
"මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මැතිණිය ඉලක්ක කරගෙන ඇයගේ ඔසප් වීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළා, ඊළඟට ගුරුවරියන් ගේ ඇඳුම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළා, එතනදී කාන්තාවන්ට වක්‍රව හිංසනයක් සිදුවන විදියේ ප්‍රකාශයක් කළා."
නලින් හේවගේ නියෝජ්‍ය අමාත්‍යවරයා කාන්තාවන්ට අපහාස කරනුයේ පුරුද්දට බව ද රෝහිනි කවිරත්න මන්ත්‍රීවරිය එහි සඳහන් කර තිබේ.
මෑතකදී පාර්ලිමේන්තුවේ කාන්තාවන්ට අපහාස, හිංසා සිදුවූ අවස්ථා මොනවාද?
2021 වසරේ දී ද රෝහිණි කවිරත්න මන්ත්‍රීවරිය පාර්ලිමේන්තුවේ දී මෙවන් සිද්ධියකට මුහුණ දුන් අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරිය විසින් කරන ලද ප්‍රකාශයක් අපහාසත්මක ව භාවිතා කළේ ය.
එමෙන්ම වාචික හිංසනයේ නොනැවතී පාර්ලිමේන්තුව තුළ කාන්තා මන්ත්‍රීවරියන්ට පහර දුන් අවස්ථා ද තිබේ.
2024 වසරේ දී එවක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේහට සමගි ජන බලවේගයේ මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා විසින් පහර දීමක් සිදු වූ බවට වාර්තා විය.
පාර්ලිමේන්තු සංකීර්ණයේ පහත මාලයේ පුස්තකාලය අසල ඩයනා ගමගේ සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර අතර බහින් බස් විමක් සිදු වී ඇති අතර පසුව එම ස්ථානයට පැමිණි මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා තමන්ගේ බෙල්ලෙන් අල්ලා පහර දුන් බව මන්ත්‍රීවරිය රාජගිරිය පොලිසියට පැමිණිලි කළා ය.
මෙම සිදුවීම පිළිබඳව කරන ලද විමර්ශනයකින් අනතරුව ඩයනා ගමගේ මන්ත්‍රීවරියට, සුජිත් සංජය පෙරේරා හා රෝහණ බණ්ඩාර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු සේවය මාසයකට අත්හිටුවීමට පාර්ලිමේන්තු ආචාරධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාව තීන්දු කරන ලදී.
'එහෙම කියන එක වැරදි.. අපි මේ ගැන කතා කරන්න ඉන්නේ'
නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කවිරත්න සම්බන්ධයෙන් කළ ප්‍රකාශය වැරදි බවත්, ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ දී සාකච්ජා කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ චමීන්ද්‍රානි කිරිඇල්ල බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් පැවසුවාය.
''මේ ප්‍රකාශය අදාළ නියෝජ්‍ය අමාත්‍යවරයා කිව්වේ පත්තරේ පළවෙලා තිබ්බා කියලා. ඊට පස්සේ කිව්වා එයා මන්ත්‍රී රෝහිණි කවිරත්න කියලා පාවිච්චි කළේ නැහැ කියලා. ඒක වැරදි අර්ථ ගැන්වීමක්. මොකද පාර්ලිමේන්තුව සජීවීව විකාශය කෙරෙනවා.''
''මේක බලන සාමාන්‍ය ජනතාව වුනත් මේක ඇත්තක් කියලා විශ්වාස කරනවා. මන්ත්‍රීවරියන් විදිහට අපි කොහොමද පිරිමි මන්ත්‍රීවරුන්ගේ කටවල් වහන්නේ?''
''අපි ගිය සතියේ කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදය රැස්වුණා. ඊළඟ රැස්වීමේදී මේ සිදුවීම ගැන සාකච්ජා කරන්න බලාපොරොත්තු වෙනවා.' මන්ත්‍රීවරිය ප්‍රකාශ කළාය.
විශ්වාසය ගිලිහුණ පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව
මෙම සිදුවීම සම්බන්ධ කිසිදු ක්‍රියාමාර්ග නොගන්නා බව රෝහිණි කවිරත්න මන්ත්‍රීවරිය බීබීසී සිංහල වෙත පැවසීය.
එයට හේතු ලෙස ඇය සඳහන් කළේ පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව පිළිබඳව විශ්වාසයක් නොමැතිකම බව ය.
"පාර්ලිමේන්තුවේ අවස්ථා තුනක් මම ඔය වගේ තත්ත්වයන්ට මුහුණ දීලා තියෙනවා. හැබැයි හිටපු කතානායකතුමා කිසිම අවස්ථාවක ඒක වරප්‍රසාද කමිටුවට ගත්තේ නැහැ. ඒකෙදී මට මතකයි හරිනි අමරසූරිය මහත්මියත් ඒ වෙනුවෙන් එක වෙලාවක කතා කළා. ඒ නිසා මට වරප්‍රසාද කමිටුව පිළිබඳව විශ්වාසයක් තිබුණා නම් ඒක නැහැ. ඒකෙ සංයුතිය වෙනස්වෙලා තිබීම ගැන දැන් එහෙම නැතුව ඇති නේද කියලා හිතෙන්න පුළුවන්. ඒකේ සංයුතිය වෙනස් වෙනවා නම් වෙනස් වෙන්නෙත් මේ ඇතුළේ ඉන්න කණ්ඩායමෙන්ම නේ ඒකේ සංයුතිය ආපහු හැදෙන්නේ. හැබැයි ඒ අයගේ ප්‍රතිචාරත් මම දැක්කේ නැහැ."
පෙර අවස්ථාවලදී යම් ක්‍රියාමාර්ග ගෙන තිබුණා නම් එය පුර්වාදර්ශයක් විය හැකිව තිබු බව ද මන්ත්‍රීවරිය සඳහන් කළාය.
"වල් පැළ වෙනුවට මල් පැළ හිටවමු කියලානේ ගෙනල්ලා මේක කළේ. එතකොට අපිට මේ සමාජයෙන් අහන්න තියෙනවා මේ ගෙනල්ලා තියෙන්නේ ඇත්තටම මල් පැළ ද කියලා. තිස්ස කුට්ටිආරච්චිගෙයි, නලින් හේවගේ ඇමැතිතුමාලාගෙයි වෙනස මොකක්ද, අරගොල්ලෝ වල් පැළ නම් මේවත් වල් පැළ නේද, මේගොල්ලෝ මල් පැළ නම් අරගොල්ලොත් මල් පැළ නේද, මට සමාජයෙන් අහන්න වෙනවා අපි වල් පැළයි මල් පැළයි අඳුරගන්න පාවිච්චි කරපු නිර්ණායක හරිද කියලා."
පෙර පැවැති පාර්ලිමේන්තු කාන්තා සංසදයේ දී තමන් මෙවැනි අත්දැකිම්කට මුහුණ දුන් අවස්ථාවේ දී මෙන්ම ඩයනා ගමගේ හිටපු ඇමැතිවරිය ගේ සිදුවීම අවස්ථාවේදීත් කාන්තා සංසදය ලෙස පෙනී සිටිය බව පැවසු මන්ත්‍රීවරිය මෙවර එසේ නොවුණ බව ද කියා සිටියාය.
"මම බලාපොරොත්තු වෙනවා මීට කලින් තිබුණ සංසදය වගේම පාට පක්ෂ බේදයක් නොසලකා යම් කිසි කාන්තාවකට, විශේෂයෙන් පාර්ලිමේන්තු ඉන්න විසි දෙදෙනා ගැනවත් මීට වඩා සංවේදීව කටයුතු කරන්න ඕනේ."
පාර්ලිමේන්තුවට නොගැලපෙන භාෂාවක් පාවිච්චි කිරීම පිළිබඳව ආණ්ඩු පක්ෂ, විපක්ෂ භේදයකින් තොරව නීතිය ක්‍රියාත්මක විය යුතු බව ද රෝහිණි කවිරත්න මන්ත්‍රීවරිය අවධාරණය කළාය.
මෙම සිදුවීම පිළිබඳව පාර්ලිමේන්තු කාන්තා සංසදයේ මතය සහ ඒ පිළිබඳව ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ විමසීමට එම සංසදයේ සභාපතිනි, කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සවිත්‍රා ජෝල්රාජ් ඇමැතිවරිය දුරකතනය ඔස්සේ සම්බන්ධ කරගැනීමට අවස්ථා ගණනාවක දී උත්සාහ කළ ඇය දුරකතනයට ප්‍රතිචාර දැක්වුයේ නැත.














